
'දිට්වා' සුළිකුණාටුව හේතුවෙන් කලාඔය ප්‍රදේශයේදී ජල පහරකට සිරවූ බස්රථයක සිටි 69 දෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට කළ කැපකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝනයට අනුයුක්ත නාවික හමුදා සාමාජිකයන් තිදෙනෙකුට පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක සේවා පදක්කම, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක වීර පදක්කම සහ සහතිකපත් පිරිනමා ඇත.
මෙය කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලීය නිල නිවසේදී අද (19) සිදුකෙරිණි.
මෙහිදී ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝනයේ සමූහ ප්‍රධාන සුළු නිලධාරී එස්.ඒ.ඊ.එල්. සෙනෙවිරත්න, නායක නැවි බී.කේ.ඒ. ප්‍රසාද් සහ බලනැවි එස්.ටී.ඩී. අබේරත්න යන නාවික හමුදා නිලධාරින් පදක්කම් සහ සහතිකපත් ලබාගත්තේය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්රික් සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජකීය ජීවිතාරක්ෂක සංගමය සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය එක්ව මෙය සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රුවන් රූපසේන, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සභාපති අතුල සේනාරත්න මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී අසංක නානායක්කාර මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

















































