
කිරින්ද - ඇටුල්ල වෙරළ තීරයේදී නීතිවිරෝධී ලෙස අල්ලා සඟවා තිබූ ජීවී පොකිරිස්සන් 16 දෙනෙකු ගොඩබිමට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරින්ද වෙරළ ආරක්ෂක ස්ථානයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත, අද පස්වරු 05.00 ට පමණ මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
මෙම වැටලීම සඳහා කිරින්ද වෙරළ ආරක්ෂක ස්ථානයේ නිලධාරීන් සමඟ කිරින්ද ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීහු ද එක්ව සිටියහ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පොකිරිස්සන් ඇල්ලීම සඳහා අවශ්‍ය බලපත්‍ර නොමැති පුද්ගලයන් විසින් මුහුදේදී අල්ලා ගන්නා පොකිරිස්සන් කෙලින්ම වෙරළට රැගෙන ඒමෙන් වැළකී සිටින බවයි. ඒ වෙනුවට ඔවුන් එම අස්වැන්න නොගැඹුරු මුහුදු ප්‍රදේශවල දැල් තුළ සඟවා තබා, පසුව වෙනත් පුද්ගලයන් යොදවා රහසිගතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරයි.
ධීවර යාත්‍රා වෙරළට පැමිණීමේදී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරනු ලබන දැඩි පරීක්ෂා කිරීම්වලින් බේරීම සඳහා මෙම නීතිවිරෝධී ක්‍රමවේදය අනුගමනය කරන බව අනාවරණය වී ඇත. පොකිරිස්සන් ඇල්ලීම සඳහා අවසර ලබාදී ඇති මෙම කාලසීමාව තුළ වුවද, ඒ සඳහා වලංගු බලපත්‍රයක් ලබාගෙන තිබීම අනිවාර්ය වේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ නීතිවිරෝධී ලෙස රැගෙන ආ පොකිරිස්සන් 16 දෙනා වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා කිරින්ද ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.
මෙවැනි නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව දිවා රෑ නොබලා නිරන්තර අවධානයෙන් පසුවන අතර, වෙරළබඩ කලාපය පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.















































