
නඩු කටයුත්තක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අද (18) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේ.
ශ්‍රී ලංකන් ගුවන්සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු නඩු කටයුත්ත අවසන් කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (18) නියෝග කළේය.
ඒ අනුව මෙම සිද්ධියට අදාළව මුල් වාර්තාව සහ නඩු භාණ්ඩ මේ වනවිටත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත යොමුකර තිබෙන බවද මහෙස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ මෙම සිද්ධියට අදාළව මේ වනවිට අල්ලස් කොමිසම විසින් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර ඇති බැවින් මෙම නඩු කටයුත්ත මෙම අධිකරණය අවසන් කරන ලෙසයි.
තවද මෙම සිද්ධියට අදාළව පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේන මේ වන විටත් මියගොස් ඇති බවත් ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.
තවද මෙම සිද්ධියට අදාළ ප්‍රියංකා නියෝමාලි සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන සැකකරුවන් දෙදෙනාට මේ වන විට විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන බවද විමර්ශන නිලධාරියා අධිකරණයට කරුණු දැක්වීය.
එම සිද්ධියට අදාළ සිව්වන සැකකරුවන නාමල් රාජපක්ෂ මේ වනවිට මෙම සිද්ධියට අදාලවම අල්ලස් කොමිසම විසින් කරනු ලබන විමර්ශනයකට අදාළව මේ වන විට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බවත් හෙට(19) දිනය දක්වා බන්ධනාගාර භාරයේ තබා ගැනීමට නියෝග කර ඇති බව විමර්ශන නිලධාරියා අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව මෙම නඩුකරය මෙම අධිකරණයෙන් අවසන් කරන ලෙස විමර්ශන නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු කටයුත්ත අවසන් කරන බවට නියෝග කළේය.
නඩුව අධිකරණයේ ගැනීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් නාමල් රාජපක්ෂට අධිකරණයට රැගෙන එනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැර තිබේ.













































