
අස්වැසුම සුභසාධක ප්රතිලාභ සඳහා අයදුම්පත් යොමු කළ අයදුම්කරුවන්ට අභියාචනා සහ විරෝධතා ගොනු කිරීමේ කාලය එළැඹෙන 15 වැනි දින දක්වා දීර්ඝ කර ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම විරෝධතා ගොනු කිරීමේ කාලය හෙටින් (11) අවසන් වීමට නියමිතව තිබූ බවය.
කෙසේ නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ජනතාව සිදුකර ඉල්ලීම් සහ අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය අනුව එය එළැඹෙන 15 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවද අමාත්‍යවරයා පැවසීය.
කෙසේ නමුත් හෙට දිනයෙන් පසු විරෝධතා සහ අභියාචනා කැඳවීම මාර්ගගත ක්‍රමයට පමණක් සිදුකරන බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව එළැඹෙන 15 වැනි දින දක්වා මාර්ගගත ක්‍රමයට අභියාචනා සහ විරෝධතා ගොනු කළ හැකි බවද පෙන්වා දුන්නේය.
එමෙන්ම මේ වන විට අස්වැසුම ප්රතිලාභ සඳහා අයදුම්කර ඇති අයදුම්කරුවන් අතුරින් අභියාචනා 105,233ක් වාර්තා වී ඇති බවත් එක් අයදුම්කරුවෙකු විසින් තවත් අයදුම්කරුවෙකුට එරෙහිව ගොනු කර ඇති විරෝධතා ප්‍රමාණය 1,220ක් ලෙස වාර්තා වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"අභියාචනා සහ විරෝධතා කැඳවීම මාර්ගගත ක්‍රමයට සහ එම විරෝධතා ලබා දීමට අවස්ථාව නොවැම්බර් 11 වැනි දිනෙන් අවසන් වීමට නියමිත වෙලා තිබුණා. නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ජනතාව විසින් සිදුකරන ඉල්ලීම සහ අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීම අනුව මෙම කාලය නොවැම්බර් 15 දක්වා දීර්ඝ කරලා තියෙනවා. හැබැයි නොවැම්බර් 11 ඉඳලා 15 වෙනිදා දක්වා ඉදිරිපත් කරන්න පුළුවන් මාර්ගගත ක්‍රමයට විතරයි. අද වන විට අයදුම්කරුවන් විසින් ගොනු කර ඇති අභියාචනා ප්‍රමාණය 105,233ක් වෙනවා. අයදුම්කරුවෙක් විසින් තවත් අයදුම්කරුවෙකුට එරෙහිව ගොනු කර ඇති විරෝධතා ප්‍රමාණය 1,220ක් වෙනවා. ප්‍රාදේශීය ලේකම් විසින් අයදුම්කරුවන්ට එරෙහිව ගොනු කර ඇති විරෝධතා ප්‍රමාණය 173, මහජන විරෝධතා 5426ක් වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පද්ධතිගත කරලා තියෙන අයදුම්පත් ප්‍රමාණය 2981ක් වෙනවා. මේ සම්බන්ධ තවත් ගැටලු තියෙනවා නම් 1924 කියන ක්ෂණික ඇමතුම් අංකයට සම්බන්ධ වෙන්න පුළුවන්."
















































