
මේ වන විට සිර දඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාව දූෂණ චෝදනා ඇතුළත් නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.
ඒ, මෙම පෙත්සම අද (10) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
බන්ධනාගාරගතව සිටින සරණ ගුණවර්ධන මහතා සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
එහිදී දෙපාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම විභාගය සඳහා පෙබරවාරි මස 10 වනදා කැඳවන ලෙස නියම කළේය.
හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකින් කොළඹ මහාධිකරණය විසින් මීට පෙර ඔහු නිදහස් කිරීමට නියෝගයක් නිකුත් කර තිබුණි.
එම නියෝගය අභියෝගයට ලක් කරමින් අල්ලස් කොමිසම විසින් මෙම ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇත.
















































