
පසුගිය පැය කිහිපය තුළ ගිං ගඟ ඉහළ ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ගිං ගඟ ආසන්නයේ පහත් බිම් වෙත සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.
අද (09) රාත්‍රී 7:45 ට පමණ මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
විශේෂයෙන්ම දෙණියාය, දෙල්ලව, තවලම, හිනිදුම සහ බද්දේගම ආසන්න ප්‍රදේශවල ස්ථාන කිහිපයක මිලිමීටර් 100ත් 150ත් අතර වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය වර්ෂාපතන තත්ත්වයක් පවතී.
මෙම තත්ත්වය යටතේ තවලම, හිනිදුම, නාගොඩ, බද්දේගම සහ දිවතුර ඇතුළු ගිං ගඟ ආසන්නයේ පහත් බිම්වල ජනතාවට සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින්, ඒ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් හා අවධානයෙන් සිටින ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.
කෙසේ වෙතත්, ඉදිරි පුරෝකථන අනුව තවදුරටත් විශාල වර්ෂාපතනයක් වර්ධනය වීමක් අපේක්ෂා නොකළද, මේ දක්වා ලැබී ඇති වර්ෂාපතනය හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය පවතින බැවින් ආරක්ෂාකාරී වන ලෙස ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් දන්වා සිටියි.
















































