
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (10) දිනයේදී කොළඹදී විරෝධතාවක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අද (09) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේ මෙම විරෝධතාව කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පැවැත්වීමට නියමිත බවය.
කෙසේ නමුත් හෙට දින කිසිදු වැඩ වර්ජනයක් රෝහල් පද්ධතියේ සිදු නොවන බව පැවසූ ඒ මහතා සියලු වෛද්‍යවරුන් කොළඹට ගෙන්වීමට කටයුතු නොකරන බවද සඳහන් කළේය.
එමෙන්ම වෛද්‍යවරුන්ගේ දීමනා සහ වැටුප් කප්පාදු කර ඇති බවත් නිල නිවාස සම්බන්ධවද ගැටලු රැසක් පැන නැගී ඇති බැවින් මේ සම්බන්ධව එළැඹෙන අයවැය තුළ විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇතැයි සිය සංගමය අපේක්ෂා කරන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා,
"හෙට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට සියලු දිස්ත්‍රික් ශාඛා සමිති නියෝජනය වන පරිදි නියෝජිතයින් කොළඹට කැඳවලා තියෙනවා, දහස් සංඛ්‍යාත නියෝජිතයින් පිරිසක් හෙට කොළඹට එන්න සූදානම් කරලා තිබෙනවා. අපි ආණ්ඩුවට ඉල්ලීම් කරනවා, අපි ආණ්ඩුවට අනතුරු ඇඟවීම් කරනවා එළැඹෙන අයවැය දිහා අපි බලාගෙන ඉන්නේ. මේ අයවැයේදී නිදහස් සෞඛ්‍ය සේවාව, මේ රටේ රෝහල් පද්ධතිය, මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව, මේ රටේ වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු අනන්‍ය වෙච්ච ගැටළු හඳුනගෙන ඒවාට නිශ්චිත විසඳුම් දෙන්න තාමත් ආණ්ඩුව අපොහොසත්නම් ඒ හරහා ආණ්ඩුව දෙන පණිවිඩය තමයි මේ රටට නිදහස් සෞඛ්‍ය ඕනේ නෑ කියන එක. මේ ආණ්ඩුවට වෛද්‍යවරු ඕනේ නෑ, මේ ආණ්ඩුවට විශේෂඥ වෛද්‍යවරු ඕනේ නෑ කියන එක තමයි මේ ලබා දෙමින් ඉන්නේ.
හෙට දවසෙදි අපි වැඩවර්ජනයක් කරන්නේ නෑ. හෙට දවසෙදි සියලු රෝහල්වල සාමාන්‍ය පරිදි රෝගී සත්කාර ක්‍රියාත්මක වෙනවා. ඒ රෝගී සත්කාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතරතුරදි කිසිම වැඩවර්ජනයක් නැතිව දහස් සංඛ්‍යාත වෛද්‍යවරුන් හෙට දවසෙදි කොළඹට එන්න සූදානම්. මේ පළවෙනි පියවර විතරයි. ඊට පස්සේ එළැඹෙන පැය 48 ඉවර වෙනකොට අපි බලාගෙන ඉන්නවා අයවැය දිහා. අපි තාම බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි අවුරුදු දෙකහමාරක් තිස්සේ ඉවසුවා අපේ වැටුප් කැපුවා, අපේ දීමනා කප්පාදු කළා, ආරක්ෂාව ගැන ප්‍රශ්න ඇතිවුණා, ඒවාට විසඳුම් නෑ, නිල නිවාසවලට විසඳුම් නෑ. ආරක්ෂාව ඉල්ලුවාම සමාජ මාධ්‍ය බලකාය දාලා වෛද්‍යවරුන්ට මඩ ප්‍රහාර එල්ල කළා ඒවායේ ප්‍රතිපළ අපි අනුරාධපුරයේදි නැවත දකිනවා. ඒ නිසා මේ ගමන ත්‍රීවු කරන්න මේ රටේ වෛද්‍යවරු සූදානමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා එළැඹෙන පැය 72 අවසන් වෙනකොට ජාතික ජනබලවේගයේ තුන්වැනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඉවර වෙනකොට මේ රටේ වෛද්‍යවරු මුහුණ දෙන සැබෑ ප්‍රශ්නවලට සැබෑ උත්තර ලැබිලා තියෙයි කියලා"
















































