
ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වූ වසර බවට මෙම වර්ෂය පත්වනු ඇති බවට විද්‍යාඥයින් අනාවැකි පළ කර තිබේ.
දේශගුණික විපර්යාස හා එල්නිනෝ තත්ත්වය හමුවේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යමින් පවතින අතර ඒ අනුව 2026 වසර ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ උෂ්ණාධිකම වසර බවට පත්වනු ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.
ලෝක නායකයින් ඇතුළු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව තුර්කියේදී ආරම්භ වී ඇති අවස්ථාවක විද්‍යාඥයින් විසින් මෙම ප්‍රකාශය සිදුකර තිබීම විශේෂත්වයකි.
මෙම අනාවැකිය ඉදිරිපත් කර ඇති ඇමෙරිකානු ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන බර්ක්ලි අර්ත් (Berkeley Earth) පවසන්නේ වසර අවසන් වීමට තවත් මාස දෙකක් ඉතිරිව තිබියදීත්, 2026 වසර 2024 වසරේදී පිහිටුවන ලද පෙර උෂ්ණත්ව වාර්තාව අභිබවා යනු ඇති බවට සියයට 95ක විශ්වාසයක් පවතින බවය.
දේශගුණික විපර්යාසවල බලපෑම හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ ලොව රටවල් රැසකට දැඩි උණුසුම් තත්ත්වයන්ට මුහුණදීමට සිදුව තිබේ.
යුරෝපය පුරා පැතිර ගිය දැවැන්ත ලැව්ගිනි සහ නේපාලයේ සිදුවූ හදිසි ග්ලැසියර කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් 1,000කට වැඩි පිරිසක් මියයාම ඒ අතර කැපී පෙනේ.

ග්ලැසියර කඩා වැටීම්, වාර්තාගත උණුසුම සහ නියඟ තත්ත්වයන් ඉදිරියේදී තවදුරටත් වර්ධනය විය හැකි බව ද ඔහු පෙන්වා දී තිබේ.
මේ අතර, යුරෝපා සංගමයේ කොපර්නිකස් දේශගුණික සේවාව තහවුරු කර ඇත්තේ පසුගිය වසර හා සැසදීමේදී මෙම වසරේ ඔක්තෝබර් මාසය මෙතෙක් වාර්තා වූ උණුසුම්ම ඔක්තෝබර් මාසය වන බවය.

කෙසේ වෙතත්, මෙය ආරම්භය පමණක් බව අවධාරණය කරන ආචාර්ය රොබට් රෝඩ්, ඉදිරියේදී මීට වඩා විශාල හා දැඩි වෙනස්කම් සිදුවීමේ හැකියාවක් පවතින බව ද සඳහන් කර ඇත.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට ප්‍රධානතම හේතුව වන්නේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යාමයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් පොසිල ඉන්ධන දහනය බලපාන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) ද ඊයේ (08) වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ 2026 වසර මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර හතර අතරට එක්වනු ඇති බවය.
අසාමාන්‍ය ලෙස ප්‍රබල එල් නිනෝ සංසිද්ධිය ලබන වසර දක්වාම පැවතීමට නියමිත බැවින් 2027 වසරේදී ද උෂ්ණත්වය ඉහළ යාමේ තත්ත්වය පහව නොයනු ඇති බව සඳහන්.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම් සෙලෙස්ටේ සවුලෝ පවසා ඇත්තේ පවතින තත්ත්වය 'සියලු මිනුම් සීමාවන් ඉක්මවා ගිය' තත්ත්වයක් ලෙස හැඳින්විය හැකි බවය.
මෙම අනාවරණයන් හමුවේ දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා තුර්කියේ අන්තාලියා නගරයේදී රැස්වන COP31 සමුළුවේ නියෝජිතයින්ට මුහුණදීමට සිදුව ඇති අභියෝගය තවදුරටත් පැහැදිලි වේ.
මීට පෙර පැවති දේශගුණික සමුළුවලදී ප්‍රධාන අවධානය යොමු වූයේ දේශගුණික විපර්යාසවලට හේතුවන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම කෙරෙහිය.
එහෙත් මේ වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ඇති වන කාලගුණික තත්ත්වයන්ට අනුවර්තනය වීමේ අවශ්‍යතාවට ද රටවල් රැසකට මුහුණදීමට සිදුව තිබේ.
















































