
හම්බන්තොට වෙරළ උද්‍යානයේ ඊයේ (07) රාත්‍රී පැවති සංගීත ප්‍රසංගයක් අවසානයේ, එය නරඹා විනෝද වී මුහුදේ ඔරු පැදීමට ගිය මිතුරන් තිදෙනෙකු අනතුරකට මුහුණ දී ඇති අතර, ඉන් එක් අයෙකු අතුරුදන් වී තිබේ.
අතුරුදන් වී ඇත්තේ මෛත්‍රීගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවන සනස් බහමන් ය.
අනෙක් මිතුරන් දෙදෙනා සුචීගම්මානය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන අය බව සඳහන් වෙයි.
ප්‍රසංගය අවසන් වීමෙන් පසු අලුයම 2ට පමණ මෙම තරුණයින් තිදෙනා හම්බන්තොට ධීවර වරායේ නවතා තිබූ ඔරුවක් රැගෙන මුහුදු ගොස් තිබේ.
එම ඔරුව අතුරුදන් තරුණයාගේ පියාට අයත් ඔරුවක් බවට සඳහන් වෙයි.
මුහුදේ රළු බව හේතුවෙන් ඇතිවූ හදිසි අනතුරකින් ඔරුව මුහුදේදී පෙරළී ඇති අතර ඔවුන් ඔරුවේ කොල්ලෑවෙහි එල්ලී සිට ඇත.
මඳ වෙලාවකින් පසු අතුරුදහන් වූ තරුණයා පිහිනා ගොස් සෙසු මිතුරන් දෙදෙනා බේරාගැනීමට උදව් ලබාගෙන පැමිණෙන ලෙස පවසා පිටත්ව ගොස් තිබේ.
කෙසේ වෙතත්, එලෙස ගොඩබිමට පැමිණීමට උත්සාහ කළ 17 හැවිරිදි දරුවා මේ වන විට අතුරුදන් වී ඇති අතර, අනෙක් තරුණයින් දෙදෙනා අද අලුයම 4.00 පමණ වන විට මුහුදේ සිටියදී ප්‍රදේශයේ ධීවරයින් විසින් දැක බේරාගෙන ඇත.
අතුරුදන් වූ තරුණයා සෙවීමේ මෙහෙයුම් මේ වන විට ප්‍රදේශවාසීන්ගේ සහ ධීවරයින්ගේ මැදිහත්වීමෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.


















































