
එල්ලේ ක්‍රීඩාව නගාසිටුවීමේ මූලික පියවරක් ලෙස, මේ වනවිට අක්‍රියව පවතින එල්ලේ සම්මේලනය යළි පිහිටුවීම සඳහා වන මූලික සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පසුගියදා පවත්වා තිබේ.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ විවෘත ආරාධනයට අනුව දිවයින පුරා පිහිටි එල්ලේ ක්‍රීඩා සමාජ රැසක් සහභාගි විය.
එහිදී එල්ලේ සම්මේලනය යළි සක්‍රිය කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ නියෝජිතයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සිදු කෙරිණි.
මෙම සාකච්ඡාවට සමඟාමීව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් එල්ලේ සමාජ නිල වශයෙන් ලියාපදිංචි කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇති අතර, ඒ අනුව දිවයින පුරා එල්ලේ ක්‍රීඩා සමාජ 57ක් අමාත්‍යාංශය වෙත ලියාපදිංචි වී ඇත.
ඉදිරියේදී පුළුල් පාලන කමිටුවක් පත්කර එමඟින් එල්ලේ සම්මේලනයේ ඉදිරි කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට නියමිතය.
මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කළේ, එල්ලේ ක්‍රීඩාව ශ්‍රී ලාංකේය අනන්‍යතාවය රැඳුණු ජාතික ක්‍රීඩාවක් ලෙස ඉදිරියට ගෙන යන අතරම, එය ජාත්‍යන්තර මට්ටමට රැගෙන යමින් වෙනත් රටවලට ද හඳුන්වා දීම සඳහා අවශ්‍ය පසුබිම මේ වනවිට සකස් කරමින් සිටින බවය.
එමෙන්ම මෙම උත්සාහය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රීඩා සමාජ ද අවංක කැපවීමකින් හා උනන්දුවකින් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා අවශ්‍ය සියලු රාජ්‍ය අනුග්‍රහය සහ සහයෝගය අමාත්‍යාංශය විසින් ලබාදෙන බවට ද සහතික විය.





















































