
වනඅලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු සහ හානි අවම කිරීම සඳහා සකස්කර ඇති ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු කමිටු කාමර අංක 3හිදී පවත්වා තිබේ.
පරිසර අමාත්‍යවරයාගේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙය පවත්වා ඇත.
මෙම සාකච්ඡාවට දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වී තිබේ.
මෙහිදී නැගෙනහිර දුම්රිය මාර්ගයේ වනඅලි දුම්රියේ ගැටීමේ අවදානම අවම කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත ක්‍රියාමාර්ග රැසක් පිළිබඳ විශේෂ අවධානය යොමුකර ඇත.
ඒ අනුව නැගෙනහිර දුම්රිය මාර්ගයේ දැනට ධාවනය වන දුම්රිය එන්ජින් වෙනුවට අවට පරිසරය වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි සහ දුම්රියේ වේගය කාර්යක්ෂමව පාලනය කළ හැකි නවීන දුම්රිය එන්ජින් හා දුම්රිය කට්ටල හඳුන්වාදීමට යෝජනා වී තිබේ.
එමෙන්ම රියදුරන්ට ඉදිරි මාර්ගය පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි අධිබලැති එන්ජින් ධාවනයට එක් කිරීමත්, වනඅලි දුම්රිය මාර්ග හරහා මාරුවන ස්ථානවල පවතින නාම පුවරු වැඩිදියුණු කිරීමත් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
තවද හබරණ දුම්රිය ස්ථානයේ සිට කන්තලේ දෙසට ගමන් කිරීමේදී සැතපුම් 133 1/2 සැතපුමට ආසන්නයේ පිහිටි ප්‍රදේශයට ජලය පානය කිරීම සඳහා පැමිණෙන වනඅලි දුම්රිය මාර්ගය ආසන්නයට පැමිණීම වැළැක්වීම සඳහා විකල්ප ජල මූලාශ්‍ර සැපයීමට යෝජනා කර තිබේ.
ඒ අනුව සුදුසු ස්ථාන දෙකක ජල තටාක ඉදිකර ඒවාට ජලය සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.
තවද දුම්රිය මාර්ගය දෙපස පැහැදිලිව නිරීක්ෂණය කිරීම සඳහා චලන සංවේදක (Motion Sensors) සහිත සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ආලෝක පද්ධති සවිකිරීමට ද අවධානය යොමු කර තිබේ.
එසේම දුම්රිය රියදුරන්ට දුම්රිය මාර්ගයේ දෙපස පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිවන පරිදි සූර්ය පැනල සහිත එල්ලෙන ආලෝක පහන් 30ක් සවිකිරීමේ වැඩපිළිවෙළක් ද යෝජනා කර තිබේ.



















































