
කෘත්රිම බුද්ධිය මඟින් නිර්මාණය කරන අවස්ථා මෙන්ම එය වගකීමකින් යුතුව භාවිත කිරීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව ප්රකාශ කළේ, කොළඹ විශ්වවිද්යාලයේ 2026 ජාත්යන්තර සැසියෙහි ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
මෙම සැසිය ‘කෘත්රිම බුද්ධිය, තිරසාරභාවය සහ නවෝත්පාදනය ඔස්සේ සියලු දෙනා ඇතුළත් අනාගතයක් ගොඩනැගීම’යන තේමාව යටතේ ලබන 28 සහ 29 යන දෙදින කොළඹ විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ UCFM කුලුනේ ප්රධාන ශ්රවණාගාරයේදී පැවැත්වේ.
එම සම්මන්ත්රණය අමතමින් අග්රාමාත්යවරිය අවධාරණය කළේ, දැනුම උත්පාදනය, විචාරාත්මක චින්තනය ප්රවර්ධනය කිරීම සහ ජාතික අභියෝග සඳහා විසඳුම් සෙවීම තුළින් රටේ ඉදිරි අනාගතය ගොඩනැගීම සඳහා විශ්වවිද්යාල සහ පර්යේෂණ ආයතන ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවය.
ගුණාත්මක අධ්යාපනය සඳහා සමාන ප්රවේශ අවස්ථා සහතික කිරීම ජාතික වගකීමක් බව අවධාරණය කළ ඇය සංවර්ධනයේ ප්රතිලාභ සියලු ප්රජාවන් අතර සාධාරණ ලෙස බෙදී යා යුතු බව ද සඳහන් කළාය.
කෘත්රිම බුද්ධිය හරහා අවස්ථා රැසක් උදාකර දෙන නමුත් එය වගකීමකින් යුතුව භාවිත කිරීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බව අග්රාමාත්යතුමිය මෙහිදී කියාසිටියාය.
අධ්යාපනය වැඩිදියුණු කිරීම, පර්යේෂණ ශක්තිමත් කිරීම, රාජ්ය සේවා වඩාත් කාර්යක්ෂම කිරීම සහ නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සඳහා කෘත්රිම බුද්ධියට හැකියාවක් පවතින නමුත්, සාවද්ය තොරතුරු, දත්ත, පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලු සහ තාක්ෂණයට ප්රවේශ වීමේ අසමානතා ඇතුළු එහි අවදානම් සහිත ක්ෂේත්රයන් ද නිසි ලෙස කළමනාකරණය කළ යුතුය.
කෘත්රිම බුද්ධිය වගකීම්සහගතව භාවිත කිරීම සහ ඩිජිටල් සාක්ෂරතාව ශක්තිමත් කිරීමෙහි වැදගත්කම අවධාරණය කළ අග්රාමාත්ය හරිනි අමරසූරිය AI සම්බන්ධ තීරණ ගැනීමේදී මානව ආකල්ප, වගවීම සහ මහජන යහපත මූලික කරගත යුතු බව ද සඳහන් කළාය.
නවෝත්පාදනය මහජන යහපත උදෙසා විය යුතු බවත්, පර්යේෂණ ජාතික ප්රමුඛතා සාක්ෂාත් කරගැනීමට මඟපෙන්විය යුතු බවත්, නැගී එන තාක්ෂණයන් මඟින් නිර්මාණය වන අවස්ථා වඩාත් සාධාරණ ලෙස සියලු දෙනා අතර බෙදී යා යුතු බවත් ඇය තවදුරටත් අවධාරණය කළාය.



















































