
යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම ඊයේ සහ අද (28) පැවැත්විණි.
නාගදීප විහාරාධිපති, උත්තර ලංකාවේ ප්රධාන සංඝනායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි, නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් මෙම පිංකම පැවැත්විණි.
උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජෙවර්ධනගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානය විසින් සංවිධානය කෙරුණු මෙම පිංකම වෙනුවෙන් ඊයේ (27) නයිනතිව් නාවික අනුඛණ්ඩයේ සිට කඨින චීවරය විචිත්රවත් පෙරහැරක් මඟින් නයිනතිව් දූපත වටා ජනතාවගේ වන්දනාමාන පිණිස රැගෙන යනු ලැබීය.
අනතුරුව නාවික අනුඛණ්ඩයේ කඨින චීවරය තැම්පත් කර, එදින සන්ධ්යාවේ නාගදීප රජ මහා විහාරස්ථානයේ නාවික හමුදා දායකත්වයෙන් බෞද්ධාගමික වත්පිළිවෙත් සිදුකෙරුණි.
අද උදෑසන නයිනතිව් අනුඛණ්ඩයේ සිට කඨින චීවරය නාගදීප විහාරස්ථානය වෙත වැඩම කරවා කඨින චීවර පූජාව සිදුකර, මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානය සහ පිරිකර පූජා කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දුගේ සහභාගීත්වයෙන් සිදුකරනු ලැබීය.
නාවික හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ඇතුළු උතුරු නාවික විධානයේ ජ්යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් මෙන්ම බැතිමතුන් පිරිසක් මේ සඳහා සහභාගි වූහ.
























































