
ඉලෙක්ට්රොනික කර්මාන්තයේ සහ අධි තාක්ෂණික නිෂ්පාදන ක්ෂේත්රයේ කැපී පෙනෙන වර්ධනය හේතුවෙන් 2026 වසරේ මුල් මාස නවය තුළ චීනයේ ප්රධාන කාර්මික සමාගම්වල ලාභය ද්වි-අංක ප්රතිශතයකින් ඉහළ ගොස් තිබේ.
චීනයේ ජාතික සංඛ්යාලේඛන කාර්යාංශය නිකුත් කළ නිල දත්තවලින් මේ බව අනාවරණය විය.
ඒ අනුව, 2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ එරට ප්රධාන කාර්මික සමාගම්වල සමස්ත ලාභය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 15.5කින් ඉහළ ගොස් ඇති අතර, එහි වටිනාකම යුවාන් ට්රිලියන 6.03ක් ලෙස වාර්තා වී ඇත.
වසර ආරම්භයේ සිට අඛණ්ඩව ද්වි-අංක වර්ධන වේගයක් පවත්වා ගැනීමට ද හැකි වී තිබේ. සැප්තැම්බර් මාසයේ පමණක් කාර්මික ලාභය පෙර වසරට සාපේක්ෂව සියයට 14.4කින් ඉහළ ගොස් ඇත.
මෙම වර්ධනයට ප්රධාන දායකත්වයක් ලබා දී ඇත්තේ ඉලෙක්ට්රොනික කර්මාන්තයයි. එම කර්මාන්තයේ ලාභය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.
මේ අතර අධි තාක්ෂණික නිෂ්පාදන අංශයේ ලාභය ද පෙර වසරට සාපේක්ෂව සියයට 52කින් ඉහළ ගොස් ඇත. එය සමස්ත කාර්මික ලාභයේ සාමාන්ය වර්ධන වේගයට වඩා සියයට 36.5ක ඉහළ අගයකි.
කෘත්රිම බුද්ධිය(AI) සඳහා අවශ්ය පරිගණක සැකසුම් බලය සහ දත්ත මධ්යස්ථාන යටිතල පහසුකම් සම්බන්ධයෙන් පවතින ඉල්ලුම අඛණ්ඩව ව්යාප්ත වීම මෙම වර්ධනයට ප්රධාන හේතුවක් වී තිබේ.



















































