
ප්රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (27) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥවරුන් සිදුකළ ඇප ඉල්ලීම කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා ප්රතික්ෂේප කරනු ලැබීය.
ප්රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී යූරෝ මිලියන 1.4කට අධික මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පවතින නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්.බෝදරගම මහතා ඉදිරියේ අද යළි කැඳවනු ලැබීය.
එහිදි නඩුවේ සිව්වන සැකකරු වන, රුපියල් මිලියන 100ක් අල්ලස් ලෙස ලබාගත්තේයැයි චෝදනා එල්ලවී දැනට රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
එහිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ රජයේ නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කියා සිටියේ ප්රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව මේ වනවිට විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්රය ගොනුකර ඇති බවය.
"ස්වාමිනි මේ නඩුව ඔබ ඉදිරියේ කැඳවන අවසන් දිනය අද. මෙම නඩුව සුවිශේෂි වැදගත්කමක් ඇති නඩුවක් සේ සලකා එය විභාග කිරීමට ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කළ ඉල්ලීමට අනුමැතිය දුන් අගවිනිසුරුවරයා දැනට තිබෙන ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා පත්රය ගොනුකරන්න කියා නියෝග කළා. ඒ අනුව මේ වෙද්දි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 24කින් හා සාක්ෂිකරුවන් 59 කින් සමන්විත අධිචෝදනා පත්රය කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා. කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා පත්ර භාරදීමට නඩුව කැඳවන තෙක් මේ සැකකරු රක්ෂිත බන්ධනාගාරයේ තබනවා ඇරෙන්න ඔබට වෙන විකල්ප නැහැ."
එහිදී සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්ර ප්රනාන්දු මහතා මෙසේ පැවසීය.
"ස්වාමිනි මා දන්නා තරමින් ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ මේ වෙද්දිත් දිනපතා දීර්ඝ නඩුවක් විභාගවෙනවා. එය අවසන්වීමට යම් කාලයක් ගතවෙයි. එතෙක් මගේ සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරයේ තබා ඔහුගේ පෞද්ගලික නිදහස අහිමි කරන්න බැහැ. මම කියන්නේ ඔබේ අධිකරණයේ මේ නඩුව අවසන් කරන්න. මහාධිකරණයට බලය පවතින අවස්ථාවක් බැවින් මින් ඉදිරියට මගේ සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරගත කරමින් ඔබට නියෝග නිකුත් කිරීමේ බලයක් නැහැ."
පැමිණිල්ලේ සහ විත්තියේ නෛතික තර්ක සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්.බෝදරගම මහතා මෙසේ සිය නියෝගය ප්රකාශයට පත් කළේය.
"මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති අවස්ථාවක් වන බැවින් මේ නඩුව සම්බන්ධයෙන් තවදුරටත් නියෝග නිකුත් කිරීමේ බලයක් මේ අධිකරණයට නැහැ. එබැවින් සැකකරු සම්බන්ධයෙන් ඇප සලකා බැලීමේ බලය මේ අධිකරණයට අහිමිවනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය ප්රකාරව ගොනුකර ඇති සහතිකය සලකා බලා මේ වනවිටත් මේ සැකකරු නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. එබැවින් මට කළ හැකි එකම නියෝගය සැකකරු නොපමාව අදාළ මහාධිකරණයට යොමුකරන ලෙස නියෝග කිරීම පමණයි."
ඒ අනුව සැකකරු ඔක්තෝබර් 28 ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත්, එසේ ඉදිරිපත් කිරීම පිළිබඳ ඔක්තෝබර් 30 වනදා තම අධිකරණයට දැනුම්දෙන ලෙසත් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්.බෝදරගම මහතා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
එතෙක් සැකකරු රඳවා තබාගැනීමේ නියෝගයක් නිකුත් කිරීමටද ප්රධාන මහේස්ත්රාත්වරයා කටයුතු කළේය.



















































