
පියයුරු පිළිකා පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් එංගලන්තයට එරෙහිව අද (25) ලාහෝර්හි පැවැත්වෙන තරගයේදී පාකිස්තාන කණ්ඩායම රෝස පැහැති ජර්සිවලින් සැරසී ක්රීඩා කිරීමට පියවර ගෙන තිබේ.
ගෝලීය වශයෙන් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස සැලකෙන ඔක්තෝබර් මාසයට සමගාමීව මෙම වැඩසටහන ක්රියාත්මක වේ.
මෙම අරමුණට සහයෝගය පළ කරමින් එංගලන්ත ක්රීඩකයන්, තරග නිලධාරීන් මෙන්ම විස්තර විචාරකයන් ද රෝස පැහැති රිබන් පැළඳ සිටිති.
මීට අමතරව, තරගය සඳහා භාවිත කරන කඩුලු ද රෝස පැහැයෙන් සරසා තිබීම විශේෂත්වයකි.
තරගය අතරතුර ප්රේක්ෂකයින් දැනුවත් කිරීම සඳහා ක්රීඩාංගණයේ පිහිටි දැවැන්ත තිර සහ විද්යුත් දැන්වීම් පුවරු ඔස්සේ දැනුවත් කිරීමේ පණිවුඩ ප්රදර්ශනය කෙරේ.
එමෙන්ම, තරගයේ සජීවී විකාශය අතරතුර විස්තර විචාරකයන් හරහා ද මෙම වැදගත් පණිවිඩය ප්රේක්ෂකයන් වෙත රැගෙන යාමට කටයුතු යොදා ඇත.
පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීම, නියමිත පරිදි පරීක්ෂණ සිදු කර ගැනීම සහ කාලෝචිතව වෛද්ය ප්රතිකාර ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව තුළ අවබෝධයක් ඇති කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණයි.
ජාත්යන්තර ක්රිකට් ක්රීඩාවට ඇති පුළුල් ප්රේක්ෂක ආකර්ෂණය යොදා ගනිමින්, පියයුරු පිළිකා රෝගීන් සහ එම රෝගයෙන් සුවය ලැබූවන් වෙනුවෙන් සහයෝගය පළ කිරීම ද මෙහිදී අපේක්ෂා කෙරේ.
පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලයේ සමාජ වගකීම් වැඩසටහනක කොටසක් ලෙස ක්රියාත්මක වන මෙම පියවර යටතේ, තරගය නැරඹීමට පැමිණෙන ප්රේක්ෂකයන් වෙනුවෙන් ද විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර ඇත.



















































