
භාණ්ඩවල මිල ප්රදර්ශනය නොකිරීම ඇතුළු පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ වැටලීම් මාලාවක් දියත් කර තිබේ.
එම අධිකාරිය පැවසුවේ පසුගිය ඔක්තෝබර් 20 වැනි දින සිට ඊයේ (24) දින දක්වා දිවයිනේ දිස්ත්රික්ක රැසක් ආවරණය කරමින් මෙම වැටලීම් සිදුකර ඇති බවත් එහිදී ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම් 200කට ආසන්න සංඛ්යාවක් වාර්තා වී ඇති බවත්ය.
පාරිභෝගිකයින්ට භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඒවායේ මිල ගණන් පැහැදිලිව දැනගැනීමට අවස්ථාව සැලසීම, වෙළෙඳපොළේ මිල විනිවිදභාවයෙන් තහවුරු කිරීම සහ අසාධාරණ වෙළෙඳ ක්රියාකාරකම් වැළැක්වීම මෙම වැටලීම් හී අරමුණ වී තිබේ.
ඒ අනුව අදාළ වැටලීම් මගින් සහල්, සීනි, පරිප්පු, එළවළු, පලතුරු, තිරිඟු පිටි, බේකරි නිෂ්පාදන, කෙටි ආහාර, රෙදිපිළි, විදුලි උපකරණ, ජංගම දුරකථන උපාංග සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන පරික්ෂාවට ලක් කිරීමටද අධිකාරිය පියවර ගෙන ඇත.
ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, අම්පාර, මඩකලපුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, මොනරාගල, ත්රිකුණාමලය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව ඇතුළු දිස්ත්රික්ක රැසක් ආවරණය වන පරිදි මෙම විශේෂ වැටලීම් ක්රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
ඒ අනුව අදාළ වෙළෙඳ ආයතනවලට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති අතර ඇතැම් සිද්ධි සඳහා මහේස්ත්රාත් අධිකරණවල නඩු පැවරීමට දින නියම කර ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව තිරිඟු පිටි අලෙවිය, වෙළෙඳපොළේ තොග තත්ත්වය, මිල ප්රදර්ශනය කිරීම සහ අදාළ නීතිමය අවශ්යතා පිළිපැදීම සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශන ක්රියාත්මක කර තිබේ.
එහිදි මිල ප්රදර්ශනය නොකිරීම සහ වෙනත් නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අදාළ නීතිමය ක්රියාමාර්ග ගත් බවද එම අධිකාරිය සඳහන් කළේය.



















































