
2026 කොළඹ කනිෂ්ඨ විවෘත ආසියානු සුපර් සීරීස් ස්කොෂ් තරගාවලිය ඔක්තෝබර් 24 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ඒ අනුව, තරගාවලිය රත්මලාන ශ්රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ස්කොෂ් සංකීර්ණයේදී පැවැත්වේ.
ආසියානු කනිෂ්ඨ සුපර් සීරීස් (AJSS) තරගාවලි මාලාවේ නිල තරගාවලියක් වන මෙයට රටවල් 9ක් නියෝජනය කරමින් විදේශීය ක්රීඩක ක්රීඩිකාවන් 54 දෙනෙකු ඇතුළුව ක්රීඩක ක්රීඩිකාවන් 176 දෙනෙකු සහභාගී වීමට නියමිතව තිබේ.
දින පහක් පුරා පැවැත්වෙන තරගාවලිය වයස අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ බාලක හා බාලිකා වශයෙන් කාණ්ඩ 10ක් යටතේ පැවැත්වීමට නියමිතය.
බංග්ලාදේශය, චීනය, හොංකොං, මැකාවු, මැලේසියාව, නේපාලය, පාකිස්තානය, සිංගප්පූරුව සහ ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවෝ මෙවර තරගාවලියට එක්වෙති.
ආසියානු ස්කොෂ් සම්මේලනයේ සහ ශ්රී ලංකා ස්කොෂ් සංගමයේ මඟපෙන්වීම යටතේ සංවිධානය කෙරෙන මෙම තරගාවලිය, මෙරට යොවුන් ක්රීඩක ක්රීඩිකාවන්ට ජාත්යන්තර තරග අත්දැකීම් ලබාගැනීමට වැදගත් අවස්ථාවක් වනු ඇත.
එමෙන්ම, ප්රබල විදේශීය ක්රීඩක ක්රීඩිකාවන් සමඟ තරග වැදීමෙන් ජාතික හා ආසියානු ශ්රේණිගත කිරීම් සඳහා ප්රසාද ලකුණු රැස්කර ගැනීමට ද ශ්රී ලාංකික ක්රීඩක ක්රීඩිකාවන්ට අවස්ථාව හිමිවේ.
මෙම තරගාවලිය හරහා ශ්රී ලංකාව ජාත්යන්තර ක්රීඩා ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීමටත්, ක්රීඩා සංචාරක ව්යාපාරය සහ ආර්ථිකය නංවාලීමටත් අපේක්ෂා කෙරේ.



















































