
බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්රදේශවල යාත්රා කරන බහුදින ධීවර යාත්රා සහ නාවික ප්රජාව සඳහා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම මුහුදු ප්රදේශවල දැනටමත් ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් ආරක්ෂිත මුහුදු ප්රදේශ වෙත යාත්රා කරන ලෙස ද උපදෙස් ලබා දී තිබේ.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද ධීවර හා නාවික ප්රජාවගෙන් ඉල්ලා සිටියි.
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම පද්ධතිය අද (25) බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොනදිග මුහුදු ප්රදේශ හරහා ගමන් කරමින් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉහළ සම්භාවිතාවක් පවතින බව සඳහන් වේ.
එම පද්ධතිය තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරමින් ඔක්තෝබර් 26 වැනිදා උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් 27 වැනිදා උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර-මධ්යම මුහුදු ප්රදේශය ආශ්රිතව ප්රබල සුළි කුණාටුවක් බවටත් තීව්ර වීමට ඉහළ සම්භාවිතාවක් පවතින බව ද වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර, දිවයින වටා මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළං නිරිත දෙසින් හමා එන අතර, එහි වේගය පැයට කිලෝමීටර් 30–40ක් පමණ විය හැකිය.
ත්රිකුණාමලය සිට කන්කසන්තුරය, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50–60 දක්වා ඉහළ යා හැකි බව ද සඳහන් වේ.
එම මුහුදු ප්රදේශ විටින් විට රළු විය හැකි අතර, දිවයින වටා ඇති සෙසු මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැකිය.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශවල මුහුදු රළ මීටර් 2.0–2.5ක් පමණ උසට ඉහළ යා හැකි බව ද අනාවැකි පළ කර තිබේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම මුහුදු ප්රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 60–70ක පමණ තද සුළං ඇති විය හැකි අතර, එම අවස්ථාවලදී මුහුද තාවකාලිකව ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.



















































