
ශ්රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ බෞද්ධ ආගමික පූජෝත්සවය මහනුවර ශ්රී දළදා මාළිගා පරිශ්රයේදී පැවැත්විණි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ක්රීෂාන්ති එදිරිසිංහ මහත්මියගේ ප්රධානත්වයෙන් මෙම ආගමික වැඩසටහන් මාලාව පැවැත්විණි.
පෙරේදා (22) පස්වරුවේ මහනුවර වෙත පැමිණි ගුවන් හමුදාපතිතුමන්, ප්රථමයෙන් මල්වතු මහා විහාරය වෙත ගොස් මහා විහාර වංශික ශ්යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිගෞරවනීය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මහ නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.
ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ඒ මහතා, අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිගෞරවනීය වරකාගොඩ ධම්මසිද්ධි ශ්රී පඤ්ඤානන්ද ඤාණරතන මහ නා හිමිපාණන් වහන්සේ ද බැහැදැක ආශීර්වාද ලබාගැනීමට කටයුතු කළේය.
එදින සවස ශ්රී දළදා මාලිගාව වෙත පැමිණි ගුවන් හමුදාපතිතුමා, ශ්රී දළදා වහන්සේ උදෙසා විශේෂ ගිලන්පස පූජාවක් සිදු කළ අතර, දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා ද හමුවිය.
සංවත්සරයට සමගාමීව ඊයේ (23) ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් භික්ෂූන් වහන්සේලා 75 නමක් උදෙසා අෂ්ටපරිෂ්කාර සහිත සාංඝික දානමය පින්කමක් සංවිධානය කර තිබුණි.
මෙම සංචාරයේදී ශ්රී දළදා මාලිගාවේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් හමුදාව මගින් යොදවා ඇති ගිනි නිවාරණ කණ්ඩායම, විශේෂිත රථ සහ උපකරණ පද්ධතිය ද ගුවන් හමුදාපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.
ගුවන් හමුදා සුභසාධක අධ්යක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම ආගමික උත්සවයේදී, මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවි පිදූ ගුවන් හමුදා රණවිරුවන්ට පුණ්යානුමෝදනා කිරීම සිදු කෙරිණි.
එසේම දැනට සක්රිය සේවයේ යෙදී සිටින ගුවන් හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආශීර්වාද කිරීම ද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීන්, ජ්යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් මෙන්ම මියගිය ගුවන් හමුදා රණවිරු පවුල්වල සාමාජිකයන් රැසක් ද එක්ව සිටියහ.



















































