
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස පතා මහනුවර සිට පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලා සම්බන්ධ අධිකරණ නියෝගයකට ඇතුළත් කර තිබූ හිමිවරුන්ගේ නම් පසුව ඉවත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම පක්ෂය සඳහන් කර ඇත්තේ මෙලෙස නම් ඉවත් කිරීම තුළින් හිතාමතාම බරපතළ වරදක් සිදුකර ඇති බවය.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ අදාළ ක්රියාදාමයට සම්බන්ධ නොවූ භික්ෂූන් වහන්සේලාගේ නම් පවා මුලින් අධිකරණ නියෝගයට ඇතුළත් කර තිබූ බවය.
එලෙස නම් ඇතුළත් කිරීමට හේතු වූ කරුණු මොනවාදැයි ප්රශ්න කරන එක්සත් ජාතික පක්ෂය, පසුව එම නම් ඉවත් කරගැනීම අධිකරණය නොමඟ යැවීමක් බවට ද චෝදනා කර තිබේ.
භික්ෂූන් වහන්සේලාගේ නම් අදාළ නියෝගයෙන් ඉවත් කිරීම තුළින් ඔවුන්ගේ ක්රියාකාරකම් ආරක්ෂාවට තර්ජනයක් නොවන බව තහවුරු වන බව ද එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මේ අතර, වත්මන් ආණ්ඩුව නියෝජනය කරන පිරිස් මීට පෙර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවති අරගලයට සහ විරෝධතාවලට සහයෝගය ලබාදුන් බව සිහිපත් කරන එක්සත් ජාතික පක්ෂය, එදා එම විරෝධතාවලට සහාය දුන් පිරිස් අද ඊට ප්රතිවිරුද්ධ ක්රියාමාර්ග අනුගමනය කරන්නේ කෙලෙසදැයි ප්රශ්න කර තිබේ.
මේ අතර වත්මන් ආණ්ඩුව බුද්ධාගමට සහ මහා සංඝරත්නයට එරෙහි ක්රියාමාර්ග අනුගමනය කරන බවට ද එම පක්ෂය සිය නිවේදනය මගින් චෝදනා කර ඇත.
ආණ්ඩුවේ මෙම ක්රියාපිළිවෙත දැඩි ලෙස හෙළා දකින බවත්, බුද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේලාට හානි කිරීමට කිසිදු ලෙසකින් නොදෙන බවත් එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.


















































