
දිවයින පුරා පිහිටි ප්රධාන වේලිවල ආරක්ෂාව තහවුරු කිරීම සහ වේලි පහළ ප්රදේශයන්හී ජීවත්වන ජනතාවගේ ආපදා අවදානම අවම කිරීම ජාතික වැඩසටහනේ විශේෂ සාකච්ඡාවක් අද (22) පැවැත්විණි.
ආරක්ෂක අමාත්යාංශයේ පැවැති මෙම සාකච්ඡාව ආරක්ෂක ලේකම් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වූ අතර ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂක ජනරාල්වරයාද එක්විය.
මෙහිදී වේලි පහළ ප්රදේශවල වෙසෙන ප්රජාවන් සඳහා කාර්යක්ෂම පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපිත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ව්යුහාත්මක නොවන අවදානම් අවම කිරීමේ පියවරයන් කඩිනමින් ඉදිරියට ගෙන යාමේ හදිසි අවශ්යතාව අවධාරණය කෙරිණි.
එමෙන්ම පූර්ව සූදානම ශක්තිමත් කිරීම, වගකිව යුතු ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සහ ජීවිත ආරක්ෂා කරමින් ආපදා බලපෑම අවම කරගැනීම උදෙසා කාලෝචිත හා විශ්වාසනීය අනතුරු ඇඟවීම් ලබාදීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
මෙහිදී ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ආරක්ෂණ වැඩසටහන ඉදිරියට ගෙන යාමේ කාලෝචිත වැදගත්කම පෙන්වා දෙමින් ආරක්ෂක කවුන්සිලයේද මේ පිළිබඳව සාකච්ඡා වූ බවත් ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මෙම වැඩසටහන ක්රියාත්මහක කිරීමට ආරක්ෂක අමාත්යාංශයට උපදෙස් ලබා දුන් බවත් පැවසීය.
විශේෂිත වේලි ආරක්ෂණ පනතක් සකස් කිරීමද කඩිනම් ජාතික ප්රමුඛතාවක් ලෙස මෙහිදී හඳුනා ගැනුණු අතර වේලි ආරක්ෂණ පාලනය ශක්තිමත් කිරීම, වගකීම් පැහැදිලි කිරීම සහ සම්බන්ධීකරණ අවදානම් කළමනාකරණය හා හදිසි ආපදා සූදානම තහවුරු කිරීම සඳහා පැහැදිලි මෙන්ම කාර්යක්ෂම නෛතික සහ ආයතනික රාමුවක් සකස් කිරීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡාවට භාජනය විය.
එමෙන්ම මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අවශ්ය මෙහෙයුම් අවශ්යතාවයන් සහ ප්රමුඛතා ක්රියාමාර්ග පිළිබඳව වේලි හිමිකරුවන් සහ මෙහෙයුම්කරුව් විසින් ප්රායෝගික යෝජනා ඉදිරිපත් කරන ලද අතර ඔවුන්ගේ මෙම දායකත්වය සියලු අදාළ පාර්ශ්වකරුවන් අතර සබඳතාව ශක්තිමත් කරන අතරම ජාතික අවශ්යතා සහ මෙහෙයුම් යථාර්ථයන් නිරූපනය වන පරිදි වැඩසටහන් ක්රියාත්මක කිරීමට උපකාරි වනු ඇති බවද ආරක්ෂක අමාත්යාංශය සඳහන් කළේය.
පූර්ව අනතුරු ඇඟවීම්, පූර්ව සූදානම, ආයතනික සම්බන්ධීකරණය සහ සුදුසු නීතිමය රාමුවක් එකතු කරගනිමින් වේලි ආරක්ෂණය වෙනුවෙන් පූර්වගාමී ජාතික ප්රවේශයක ඇති වැදගත්කම මෙම සාකච්ඡාවේදී නැවතත් තහවුරු විය.
ජාතික මට්ටමේ වැදගත්කමකින් යුත් මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්යස්ථානය ඉදිරියටත් අදාළ ආයතනය සහ තාක්ෂණික නියෝජිතායතන සමග සමීපව කටයුතු කිරීමේ අවශ්යතාවද අවධාරණය කෙරිණි.
ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ ජෙනරාල් විශ්රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ විසින් යෝජිත ක්රියාකාරකම් සහ මෙම වැඩසටහනේ ඉදිරි ක්රියාමාර්ග සඳහා අවශ්ය වන මූල්ය ප්රතිපාදන පිළිබඳව මෙහිදී හැඳින්වීමක් කර ඇති අතර ජාතික අභිවෘද්ධිය උදෙසා මෙම යෝජිත පියවරයන් ක්රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡාවට එක්වූ සියලුම පාර්ශ්වකරුවන් විසින් එකඟතාවද පළ කළහ.


















































