
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරගය නිමාවට පත්වූයේ ක්රිකට් වාර්තා පොත් උඩුයටිකුරු කරමින්, අමතක නොවන වාර්තා රැසක්ම ක්රිකට් වංශකතාවට එක් කරමිනි.
එංගලන්ත කණ්ඩායම විසින් ශ්රී ලංකාවට ලකුණු 430ක අතිදැවැන්ත ඉලක්කයක් ලබාදුන්නද, එම අභියෝගාත්මක ඉලක්කය හඹාගිය ශ්රී ලංකා ක්රීඩකයින්, එතෙක් සියලු ගෞරවයන් අත්පත් කරගෙන සිටි එංගලන්තය අන්දමන්ද කරමින් විශිෂ්ට ජයග්රහණයක් අත්කරගත්තේය.
තරගයේ වැඩි ගෞරව තමන් සතු කරගනිමින්, ශ්රී ලංකා කණ්ඩායම අලුතින් පිහිටුවන ලද සහ සමස්ත තරගයේ බිහිවූ සුවිශේෂී වාර්තා එකතුව මෙන්න.
ශ්රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව ලකුණු 430ක ඉලක්කය හඹායෑම එක්දින ක්රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් සාර්ථකව හඹාගිය දෙවන ඉහළම ලකුණු සංඛ්යාව විය. පළමු ස්ථානයේ පසුවන්නේ 2006 වසරේදී ඔස්ට්රේලියාවට එරෙහිව දකුණු අප්රිකාව ලකුණු 435ක් හඹායෑමය.
ශ්රී ලංකාවේ මෙම ලකුණු හඹායාම 'List A'ක්රිකට් ඉතිහාසයේද දෙවන සාර්ථක ලකුණු හඹායෑම වේ. 'List A' ක්රිකට් ඉතිහාසයේ ලකුණු 400ට වැඩි ඉලක්කයන් සාර්ථකව හඹාගිය අවස්ථා 5න් 4ක්ම වාර්තා වී ඇත්තේ 2025 දෙසැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි.
කණ්ඩායම් දෙකම එකතුව ලකුණු 859ක් රැස්කළ අතර, එය එක්දින තරගයකදී වාර්තා වූ දෙවන ඉහළම සමස්ත ලකුණු සංඛ්යාවයි. ඉහළම සමස්ත ලකුණු සංඛ්යාව වන්නේ 2006 දී ජොහැන්නස්බර්ග් හිදී දකුණු අප්රිකාව සහ ඔස්ට්රේලියාව අතර පැවැත්වුණු තරගයේදී වාර්තා වූ ලකුණු 872යි.
බෲක් ලබාගත් ලකුණු 202, එක්දින ක්රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් පරාජයට පත් වූ තරගයකදී වාර්තා වූ පළමු ද්විත්ව ශතකය බවට පත්විය. මීට පෙර පරාජය වූ තරගයකදී පිතිකරුවෙකු ලබා තිබූ වැඩිම එක්දින ලකුණු සංඛ්යාව වූයේ 2009 වසරේදී බංග්ලාදේශයට එරෙහිව සිම්බාබ්වේ පිතිකරු චාල්ස් කොවෙන්ට්රි නොදැවී ලබාගත් ලකුණු 194යි.
25 වන පන්දුවාරය අවසානයේ ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 2කට ලකුණු 169ක් ලබා සිටි අතර, ජයග්රහණය සඳහා අවසන් පන්දුවාර 25 තුළදී ලකුණු 261ක් අවශ්යව තිබුණි. එක්දින තරගයක අවසන් පන්දුවාර 25 තුළදී කණ්ඩායමක් සාර්ථකව හඹාගිය වැඩිම ලකුණු සංඛ්යාව මෙය වේ. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2011 ලෝක කුසලානයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 215ක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමයි.
එංගලන්ත පන්දු යවන ක්රීඩක සෑම් කරන්ට එරෙහිව ශ්රී ලංකා පිතිකරුවෝ ලකුණු 103ක් රැස්කළ අතර, එය පිරිමි එක්දින තරගයකදී එංගලන්ත පන්දු යවන්නෙකු ලබාදුන් වැඩිම ලකුණු සංඛ්යාව වේ. මීට පෙරද වැඩිම ලකුණු සංඛ්යාවක් ලබා දී තිබුණේ සෑම් කරන් විසිනි. 2023 දී කොදෙව් දූපත්හිදී කොදෙව් පිතිකරුවන් ලකුණු 98ක් රැස්කර තිබුණි.
සමස්ත තරගයේදී පිතිකරුවන් 8 දෙනෙකු අර්ධ ශතක හෝ ඊට වැඩි ලකුණු සංඛ්යාවන් රැස්කළ අතර, එය එක්දින තරගයකදී වාර්තා වූ වැඩිම ලකුණු 50ට වැඩි ඉනිම් සංඛ්යාව සමකිරීමකි. මීට පෙර අර්ධ ශතක 8 බැගින් වාර්තා වූ එක්දින තරග 3ම ආසියානු උපමහාද්වීපය තුළ පැවැති තරගවීම සුවිශේෂීය.
පාකිස්තානය තුළ වාර්තා වී තිබූ ඉහළම එක්දින තරග ලකුණු සංඛ්යාව වූයේ 2015 දී ලාහෝර් හිදී සිම්බාබ්වේ පිලට එරෙහිව පාකිස්තානය කඩුලු 3කට ලබාගත් ලකුණු 375යි. රාවල්පින්ඩි හිදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 54කින් එම වාර්තාව අලුත් කළ අතර, පසුව ශ්රී ලංකාව එම සියලු වාර්තා අභිබවා යමින් තරගය ජයග්රහණය කළේය.
හැරී බෲක් ලකුණු 202ක් රැස් කරමින් එක්දින ක්රිකට් ඉතිහාසයේ ද්විත්ව ශතකයක් ලබාගත් පළමු එංගලන්ත පිතිකරුවා බවට පත්විය. මීට පෙර එංගලන්ත ක්රීඩකයෙකු ලබාගෙන තිබූ වැඩිම එක්දින ලකුණු සංඛ්යාව වූයේ 2023 වසරේදී නවසීලන්තයට එරෙහිව බෙන් ස්ටෝක්ස් ලබාගත් ලකුණු 182 විය.
පාකිස්තානයේදී එක්දින ද්විත්ව ශතකයක් රැස්කළ පළමු ක්රීඩකයා බවට බෲක් පත්විය. මීට පෙර එරට තුළ වාර්තා වී තිබූ වැඩිම එක්දින ලකුණු සංඛ්යාව වූයේ 1996 ලෝක කුසලාන තරගාවලියේදී UAE කණ්ඩායමට එරෙහිව ගැරී කිර්ස්ටන් නොදැවී ලබාගත් ලකුණු 188යි. වසර 30කට පෙර තමා පිහිට වූ එම වාර්තාව බිඳවැටෙන අයුරු ශ්රී ලංකා කණ්ඩායමේ වත්මන් ප්රධාන පුහුණුකරු ලෙසින් ඔහු සියැසින් බලා සිටියේය.
තම ද්විත්ව ශතකය පන්දු 114කින් සම්පූර්ණ කිරීමට බෲක් සමත් වූ අතර, එය එක්දින ක්රිකට් ඉතිහාසයේ වේගවත්ම ද්විත්ව ශතකය ලෙස වාර්තාව අතරට එක්විය. මීට පෙර වේගවත්ම ද්විත්ව ශතකයට හිමිකම් කීවේ පසුගිය මස ගුවහාටි හිදී බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දු 117කින් ලබාගත් ෂුබ්මන් ගිල්ය.
ආරම්භක පිතිකරුවෙකු නොවන අයෙකු එක්දින තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්යාව ලෙසද බෲක්ගේ ලකුණු 202 වාර්තා අතරට එක්විය. ඔහු 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව අංක 6 පිතිකරු ලෙස ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී ලබාගත් ලකුණු 201 සීමාව පසුකර ගියේය.
අංක 4 පිතිකරුවෙකු රැස්කර තිබූ වැඩිම ලකුණු සංඛ්යාව වූයේ 1984 වසරේ මැන්චෙස්ටර් හිදී එංගලන්තයට එරෙහිව විව් රිචර්ඩ්ස් නොදැවී ලබාගත් ලකුණු 189 වාර්තාවද බෘෘක් මෙහිදී බිඳදැමුවේය.
බෲක් ඇතුළුව පිරිමි එක්දින ක්රිකට් ඉතිහාසයේ නායකයෙකු ලෙස ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවන් සංඛ්යාව 4කි. අනෙක් ක්රීඩකයින් වන්නේ 2011 දී බ.ඉ. කොදෙව් පිලට එරෙහිව විරේන්දර් සෙවාග් , 2017 දී ශ්රී ලංකාවට එරෙහිව රෝහිත් ශර්මා සහ ෂුබ්මන් ගිල්ය. මීට පෙර එංගලන්ත නායකයෙකු ලබා තිබූ වැඩිම එක්දින ලකුණු සංඛ්යාව වූයේ 2011 ලෝක කුසලානයේදී ඉන්දියාවට එරෙහිව ඇන්ඩෲ ස්ට්රවුස් ලබාගත් ලකුණු 158 විය.
තම ද්විත්ව ශතකය අතරතුර වේගපන්දු යවන්නන්ට එරෙහිව පන්දු 90කදී ලකුණු 174ක් රැස් කිරීමට බෲක් සමත් වූ අතර, එය එක්දින තරගයකදී වේගපන්දු යවන්නන්ට එරෙහිව පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්යාව වේ. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2014 වසරේදී ශ්රී ලංකාවට එරෙහිව ලබාගත් ලකුණු 264න් ලකුණු 166ක්ම වේගපන්දු යවන්නන්ට එරෙහිව රැස් ළ රෝහිත් ශර්මාය.
එංගලන්ත ඉනිමේ 25 වන පන්දුවාරයෙන් පසුව බෲක් ලකුණු 174ක් ලබා ගත්තේය. එක්දින ඉනිමක අවසන් පන්දුවාර 25 තුළදී මෙලෙස ලකුණු 174ක් හෝ ඊට වඩා රැස්කර ඇත්තේ පිතිකරුවන් දෙදෙනෙකු පමණි. ඒ 2014 දී ශ්රී ලංකාවට එරෙහිව ලකුණු 204ක් රැස්කළ රෝහිත් ශර්මා සහ 2023 දී සෙන්චූරියන් හිදී ඔස්ට්රේලියාවට එරෙහිව 26 වන පන්දුවාරයේදී පිටියට පිවිස ලකුණු 174ක් රැස් කළ හෙන්රිච් ක්ලාසන්ය.
බෲක් සහ විල් ජැක්ස් අතර 4 වන කඩුල්ල වෙනුවෙන් පන්දු 77කදී ලකුණු 185ක සබඳතාවයක් ගොඩනැගුණු අතර, එහි ලකුණු ලබා ගැනීමේ වේගය පන්දුවාරයකට 14.41ක් විය. මෙය එක්දින තරගයක ලකුණු 150ට වැඩි සබඳතාවක් වෙනුවෙන් වාර්තා වූ 4වන ඉහළම ලකුණු ලබාගැනීමේ වේගය වූ අතර, එංගලන්තය වෙනුවෙන් වාර්තා වූ ඉහළම වේගයයි.


















































