
පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්රී ලංකාව සහ එංගලන්තය අතර අද (22) රාවල්පින්ඩි ක්රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 429ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 430ක අති දැවැන්ත ඉලක්කයක් හිමිවිය.
මෙම ඉනිම එංගලන්ත කණ්ඩායම ජාත්යන්තර එක්දින පිටියේ ලකුණු 400 සීමාව පසුකළ 8වන අවස්ථාව ලෙස වාර්තා අතරට එක්වූ අතර, එය ඔවුන්ගේ 4වන ඉහළම එක්දින ලකුණු සංඛ්යාව ලෙසද සටහන් වේ.
එමෙන්ම, මෙය පාකිස්තානයේ දී කණ්ඩායමක් ලබාගත් ඉහළම එක්දින ලකුණු සංඛ්යාව ලෙසද වාර්තා අතර සටහන් විය.
එංගලන්ත ඉනිම ශක්තිමත් කළ නායක හැරී බෲක්, ශ්රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව අනුකම්පා විරහිත ප්රහාරයක නිරත වෙමින් පන්දු 116කදී ලකුණු 202ක් රැස් කිරීමට සමත් විය.
අලංකාර හයේ පහර 10ක් සහ හතරේ පහර 21කින් සරසන ලද මෙම විශිෂ්ට ඉනිම ඔහුගේ ජාත්යන්තර එක්දින ක්රිකට් දිවියේ ප්රථම ද්විත්ව ශතකය මෙන්ම හොඳම පෞද්ගලික ඉනිම ලෙසද වාර්තා අතරට එක්විය.
මෙහිදී පන්දු 114කින් සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළ හැරී බෲක්, එක්දින ක්රිකට් ඉතිහාසයේ වේගවත්ම ද්විත්ව ශතකයේ හිමිකරුවා බවට පත්වීමට සමත් විය.
ඒ අනුව ඉන්දීය පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 117කින් පිහිටුවා තිබූ ලෝක වාර්තාව බිඳහෙළීමට බෲක් සමත් වූ අතර, ඔහු එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් රැස්කළ ප්රථම එංගලන්ත පිතිකරුවා ලෙසද ඉතිහාසගත විය.
හැරී බෲක්ට අමතරව ප්රහාරාත්මක පිතිහරඹයක නිරත වූ විල් ජැක් නොදැවී ලකුණු 66ක් රැස්කළේය.
ඔහුට අමතරව සාර්ථක පිතිහරඹයක නිරත වූ ජෝ රූට් ලකුණු 69ක් සහ ටොම් බෙන්ටන් ලකුණු 50ක් ලබාගනිමින් එංගලන්ත ඉනිම දැවැන්ත සීමාවකට ගෙන යාම සඳහා ප්රබල සහයක් ලබාදුන්හ.
එංගලන්ත පිතිකරුවන්ගේ දරුණු ප්රහාරය හමුවේ ශ්රී ලංකා පන්දු යැවීමේ බලඇණිය දැඩි ලෙස පීඩනයට ලක්වූ අතර, යම් තරමකට හෝ සාර්ථක වූ දුනිත් වෙල්ලාලගේ පමණි.
ඔහු සිය පන්දුවාර 10ට ලකුණු 56කට කඩුලු 2ක් දවාගනිමින් අවසන් කළේය.
කෙසේ වෙතත් එශාන් මාලිංගගේ පන්දුවාර 10 තුළදී කිසිදු කඩුල්ලක් නොමැතිව ලකුණු 91ක්ද, ඩිල්ෂාන් මධුසංකගේ පන්දුවාර 10 තුළදී ලකුණු 89ක්ද ලබාගැනීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ.


















































