
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන අනිසි ලෙස භාවිත කිරීම, රාජ්ය මුදල් වියදම් කිරීම සහ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් අයුතු මැදිහත්වීම් සිදුව ඇතැයි මතුව ඇති සැකසහිත තත්ත්වයන් පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණ විසින් අද (22) අදාළ බලධාරීන් වෙත විධිමත් පැමිණිල්ලක් භාරදීමට නියමිතය.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් ජ්යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක මහතා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළව, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් තීක්ෂණ ගම්මන්පිල සහ නීතිඥ රජික කොඩිතුවක්කු විසින් මෙම පැමිණිල්ල භාරදීමට නියමිත අතර, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙත එම පැමිණිල්ල යොමු කරනු ලැබේ.
කොළඹ මහාධිකරණයේ විභාග නඩුවට අදාළව 2026 ඔක්තෝබර් 19 වැනිදා අධිකරණයේදී ලබාදුන් සාක්ෂියක් පදනම් කරගෙන මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරේ.
අදාළ සාක්ෂිකරුවා ජර්මනියේ සිට ශ්රී ලංකාවට කැඳවාගෙන ඒම සඳහා රුපියල් 450,000ක පමණ ගුවන් ගමන් සහ අනෙකුත් වියදම් රාජ්ය මුදලින් දරා ඇති බවටත්, එම වියදම් හා සම්බන්ධීකරණ කටයුතු සිදුකළ ආකාරය පිළිබඳවත් පැමිණිල්ල මඟින් ප්රශ්න කර තිබේ.
එසේම, විදේශගත සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා නීතියෙන් සලසා ඇති ක්රමවේදයන් අනුගමනය කර තිබේද, රාජ්ය මුදල් වියදම් කිරීමේදී අදාළ නීතිමය හා මූල්ය රෙගුලාසි පිළිපැද තිබේද සහ මෙම ක්රියාවලිය තුළ සාක්ෂිකරුවන්ගේ ස්වාධීනත්වයට හෝ සාධාරණ නඩු විභාගයකට බලපෑමක් සිදුවී තිබේද යන්න පිළිබඳව විධිමත් විමර්ශනයක අවශ්යතාව පැමිණිල්ලෙන් අවධාරණය කෙරේ.
මෙම පැමිණිල්ල මඟින් අදාළ කරුණු ස්වාධීනව විමර්ශනය කිරීම, රාජ්ය මුදල් භාවිතය පිළිබඳ විගණනයක් සිදුකිරීම සහ නීති උල්ලංඝනයක් සිදුව ඇති බව තහවුරු වන්නේ නම් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය අනුව පියවර ගැනීම ඉල්ලා සිටී.
එක්සත් ජනරජ පෙරමුණේ ස්ථාවරය වන්නේ, අපරාධ නඩුවක සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නීතියේ ආධිපත්යය, රාජ්ය මුදල්වල වගකීම්සහගත භාවිතය සහ අධිකරණ ක්රියාවලියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්යවශ්ය බවයි.
මෙම කරුණු සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹිය යුත්තේ නිසි පරීක්ෂණයක් සහ අදාළ සාක්ෂි සලකා බැලීමෙන් පසුවය.
එබැවින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පැමිණිල්ලේ කරුණු අපක්ෂපාතීව විමර්ශනය කර නීතියට අනුකූලව අවශ්ය පියවර ගන්නා ලෙසයි.


















































