
බදු පැහැර හැරීම් සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ අරමුණින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමකට අද (21) එළඹ තිබේ.
ඒ අනුව, දෙපාර්තමේන්තු දෙක අතර බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සහ එම තොරතුරු මත පදනම්ව සමාන්තර විමර්ශන සිදුකිරීම සඳහා ඒකාබද්ධ යාන්ත්රණයක් ස්ථාපිත කිරීමට නියමිතය.
2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත අනුව, 2026 අගෝස්තු 4 වැනිදා සිට දේශීය ආදායම් පනතේ 189 වැනි වගන්තිය යටතේ වන බදු පැහැර හැරීම් සම්බන්ධ වැරදි සහ සුරාබදු ආඥා පනත යටතේ වන වැරදි මුදල් විශුද්ධිකරණයට අදාළ නීති විරෝධී ක්රියාකාරකම් ලෙස සැලකේ.
ඒ අනුව, රාජ්ය සම්පත් කාර්යක්ෂමව උපයෝගී කරගනිමින් එවැනි වැරදිවලට එරෙහිව ඒකාබද්ධව ක්රියා කිරීම මෙම ගිවිසුමේ ප්රධාන අරමුණ වී තිබේ.
මෙමගින් බදු පැහැර හැරීම් සම්බන්ධ විගණන කටයුතු පුළුල් කිරීම, නීති විරෝධී මූල්ය ප්රවාහ අවම කිරීම සහ රාජ්ය ආදායම් රැස්කිරීම විධිමත් කිරීම අපේක්ෂා කෙරේ.
අවබෝධතා ගිවිසුම අද පෙරවරු 9ට මුදල් අමාත්යාංශයේදී අත්සන් තැබුණු අතර, ඒ සඳහා නියෝජ්ය භාණ්ඩාගාර ලේකම් ඒ.එන්. හපුගල මහතා ප්රධානත්වය දැරීය.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්රනාන්දු මහත්මිය සහ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා විසින් ගිවිසුමට අත්සන් තබන ලදී.


















































