
මෙට්රෝ බස් නැවතුම්පොළක් ස්ථාපිත කිරීම සඳහා බව පවසමින් අතුරුගිරිය පෞද්ගලික නිවාස සංකීර්ණයක් ආසන්නයේ පිහිටි පර්චස් 100ක ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට චෝදනා කරමින් ගොනුකර තිබූ නඩුව අද (19) කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයේදී විභාගයට ගැනිණි.
ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ මහතාට, කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් මහතාට සහ මෙට්රෝ ට්රාන්සිට් පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව නිකුත් කර තිබූ නොතීසිවලට අදාළ නඩු විභාගය කඩුවෙල මහේස්ත්රාත් අරුණ ඉන්ද්රජිත් බුද්ධදාස මහතා ඉදිරියේදී පැවැත්විණි.
නඩු විභාගය සඳහා මෙට්රෝ ට්රාන්සිට් පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්, පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ මහතා සහ කඩුවෙල මහ නගර සභාව නියෝජනය කරමින් නීතිඥවරුන් පෙනී සිටියහ.
එහිදී මෙට්රෝ ට්රාන්සිට් පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට දැනුම් දුන්නේ අදාළ ඉඩම කඩුවෙල මහ නගර සභාව විසින් සමාගම වෙත නිර්දේශ කරන ලද ඉඩමක් බැවින් එහි හිමිකාරීත්වය පිළිබඳව සොයා නොබැලූ බවය.
එහි වගකීම කඩුවෙල මහ නගර සභාව සතු බැවින් අදාළ නඩුවෙන් සිය සමාගම මුදාහරින ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම, සිය සමාගමට අයත් මෙට්රෝ බස් රථ අදාළ ඉඩමේ නවතා තැබීම නොකරන බව ද අධිකරණයට දැනුම් දී තිබේ.
එම ඉල්ලීමට පැමිණිලි පාර්ශ්වයෙන් විරෝධතාවක් එල්ල නොවූ අතර, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙට්රෝ ට්රාන්සිට් පෞද්ගලික සමාගම නඩුවෙන් ඉවත් කිරීමට විරෝධයක් නොමැති බවය.
මේ අතර, නඩුව සමථයකට පත්කර ගැනීමට දෙපාර්ශ්වය කැමැත්තක් දක්වන්නේ දැයි මහේස්ත්රාත් අරුණ ඉන්ද්රජිත් බුද්ධදාස මහතා විමසා තිබේ.
එහිදී පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ පැමිණිලි පාර්ශ්වය විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් අධ්යයනය කර ඇති බවත්, අදාළ කරුණු තවදුරටත් අධ්යයනය කිරීමෙන් පසු ඒ පිළිබඳව තීරණයක් දැනුම් දිය හැකි බවත්ය.
ඒ අනුව, අදාළ ලිපිගොනු විවෘත අධිකරණයේදීම විත්තිකාර පාර්ශ්වය වෙත ලබාදීමට පැමිණිලි පාර්ශ්වය කටයුතු කර තිබේ.
අදාළ නඩුව සම්බන්ධයෙන් ඉදිරි තීරණය දැනුම් දීම සඳහා එය නොවැම්බර් 2 වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.




















































