
තංගල්ල මූලික රෝහලේ ප්රතිකාර සේවා පුළුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 3,090ක පිරිවැයකින් තට්ටු නවයකින් සමන්විත ශල්ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
මෙම වසර අවසානයේ ඉදිකිරීම් ආරම්භ කර අදියර හතරක් යටතේ ව්යාපෘතිය නිම කිරීමට අපේක්ෂා කරන බවද සඳහන්.
සෞඛ්ය නියෝජ්ය අමාත්යවරයා පසුගියදා තංගල්ල මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ පැවති විශේෂ කළමනාකරණ කමිටු රැස්වීමේදී රෝහලේ පවතින ගැටලු සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ඇඳන් 339ක ධාරිතාවකින් යුත් තංගල්ල මූලික රෝහල, හම්බන්තොට දිස්ත්රික් මහ රෝහලට අමතරව දිස්ත්රික්කයේ ජනතාවට රෝහල්ගත ප්රතිකාර ඇතුළු අත්යවශ්ය සෞඛ්ය සේවා සපයන ප්රධාන රාජ්ය සෞඛ්ය ආයතනයකි.
ශ්රී ලංකාවේ රාජ්ය සෞඛ්ය සේවා පද්ධතිය තුළ මූලික රෝහල් විශේෂඥ ප්රතිකාර, රෝග විනිශ්චය සහ අනුබද්ධ සෞඛ්ය සේවා සැපයීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
එබැවින්, තංගල්ල මූලික රෝහලේ පහසුකම් සංවර්ධනය කිරීම ප්රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්ය සේවාවක් සැලසීම සඳහා වැදගත් වේ.
රෝහල් භූමියේ පවතින ඉඩකඩ සීමාවන් හේතුවෙන් ප්රතිකාර සේවා පවත්වාගෙන යාමේදී මතුවන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, යෝජිත ශල්ය වාට්ටු සංකීර්ණයට අමතරව තට්ටු පහකින් සමන්විත වෛද්ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
මෙම සංවර්ධන සැලසුම් මඟින් රෝහලේ භෞතික පහසුකම් ද පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.
රෝග විනිශ්චය කිරීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රෝහලට සී.ටී. ස්කෑන් යන්ත්රයක් ලබාදීම සහ අවශ්ය නවීන වෛද්ය උපකරණ සපයා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.
එම පහසුකම් සංවර්ධනය කිරීම තුළින් රෝගීන්ට කාලෝචිත රෝග විනිශ්චය සහ සුදුසු ප්රතිකාර සැලසීමේ හැකියාව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ.
මීට අමතරව, වෛද්යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු අනෙකුත් සෞඛ්ය කාර්ය මණ්ඩලයේ අවශ්යතා, ගිලන් රථ පහසුකම් සහ රෝහලේ දෛනික කටයුතු සඳහා අවශ්ය මූලික සම්පත් පිළිබඳව ද අවධානය යොමු ව තිබේ.
විශේෂඥ වෛද්යවරුන්ගේ සිට සෞඛ්ය කාර්ය සහායක සේවකයන් දක්වා සියලු වෘත්තීය කාණ්ඩ නියෝජනය කරන නිලධාරීන්ට තම ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට වෙන වෙනම අවස්ථාව ලබාදුන් නියෝජ්ය අමාත්යවරයා, එහිදී ක්ෂණිකව විසඳිය හැකි ගැටලු සඳහා අවශ්ය පියවර ගත් අතර, අනෙකුත් ගැටලු සඳහා කෙටිකාලීන, මධ්යකාලීන සහ දිගුකාලීන විසඳුම් ලබාදීම පිළිබඳව ද සාකච්ඡා කළේය.
තංගල්ල මූලික රෝහල පළාත් සභාව යටතේ පාලනය වන රෝහලක් බැවින්, අදාළ පළාත් සභාව සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් මධ්යම රජයේ අරමුදල් ද යොදාගෙන රෝහලේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා අවධාරණය කළේය.



















































