
අධ්යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු රැසකට අදාළ විසඳුම් කඩිනම් කරන ලෙස අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දුන්නාය.
අග්රාමාත්යවරියගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මන්ත්රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කළ ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසමින් ඇය මෙලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.
සාමාන්ය විදුලි සංදේශ ජාල මගින් අන්තර්ජාල සබඳතා ලබා ගැනීමට අපහසු පාසල් 334ක් හඳුනාගෙන ඇති අතර, ඒවා සඳහා Wi-Fi පහසුකම් ලබා දීම සඳහා පෞද්ගලික ආයතනයකට පවරා ඇති බවත් මෙහිදී අනාවරණය විය.
එසේම භූගෝලීය දුෂ්කරතා හේතුවෙන් කිසිදු සාමාන්ය ක්රමයකින් අන්තර්ජාලය සැපයිය නොහැකි දුෂ්කර පාසල් 10ක් සඳහා මෙරට ආරම්භ වූ චන්ද්රිකා අන්තර්ජාල පහසුකම් සපයන නව සමාගමක් මගින් අන්තර්ජාලය ලබා දීමට ව්යාපෘති යෝජනාවක් මගින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව නිලධාරිහු සඳහන් කළහ.
පාසල්වල පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා වෙන් කළ මුදල්, මූල්ය වර්ෂය අවසන් වීමට පෙර පූර්ණ ලෙස ප්රයෝජනයට නොගෙන ආපසු යාම වැළැක්වීම සඳහා දිස්ත්රික් හා ප්රාදේශීය මට්ටමින් ප්රගතිය අධීක්ෂණය කිරීමට ද අගමැතිවරිය විසින් උපදෙස් ලබා දෙන ලදී.
තෝරාගත් ප්රාථමික පාසල් 169ක් සංවර්ධනය කිරීමේ ව්යාපෘතියේ ප්රගතිය විමසා බැලූ අතර, ප්රමාද වී ඇති ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීම කඩිනම් කරන ලෙස පළාත් බලධාරීන්ට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී.
කුඩා දරුවන් පරිසරය හා සෘජුව බද්ධව ඉගෙනුම ලැබිය යුතු බැවින්, ප්රාථමික අංශවල එක් ශ්රේණියකට එක් සුහුරු පන්ති කාමරයක් පමණක් සීමා කරන ලෙසත්, සියලුම පන්ති කාමර ස්මාර්ට් පන්ති කාමර බවට පත් නොකරන ලෙසත් අග්රාමාත්යවරිය උපදෙස් ලබා දුන්නාය.
තවද අලුතින් සැලසුම් කෙරෙන ප්රාථමික පාසල්වල දරුවන්ට මානසික සුවතාවයෙන් හා නිදහසේ රැඳී සිටිය හැකි විවේකාගාර හා කියවීම් කාමර ඇතුළත් කිරීම අනිවාර්ය විය යුතු බව අවධාරණය කෙරිණි.
පරිවාස භාරයේ පසුවන දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී අධිකරණ නියෝග මත පදනම්ව කටයුතු කිරීමටත්, එම දරුවන්ට අනවශ්ය බාධාවකින් තොරව නගරාසන්න හා ජාතික පාසල්වලට ඇතුළත් වීමට හැකි වන පරිදි පොදු මාර්ගෝපදේශ සහ චක්රලේඛ ක්රියාත්මක කිරීමටත් කාරක සභාව විසින් උපදෙස් දෙන ලදී.
වාර්ෂික ගුරු ස්ථාන මාරු ක්රියාවලියේදී අනුප්රාප්තිකයින් නොමැති වීම හේතුවෙන් විදුහල්පතිවරුන් විසින් ගුරුවරුන් මුදා නොහැරීම නිසා ඇතැම් ගුරු ස්ථාන මාරු සංශෝධනය කිරීමට හෝ අත්හිටුවීමට සිදු වූ බව අනාවරණය විය. අදාළ අංශ සම්බන්ධීකරණයෙන් අවශ්ය ගුරුවරුන් ප්රමාණය බඳවා ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට කාරක සභාවෙන් උපදේශ ලැබිණි.
තවද, පාසල් වෙත පත් කර සිටින ක්රීඩා පුහුණුකරුවන්ගේ රාජකාරි නිරීක්ෂණය විධිමත් කිරීම, රාජකාරි වේලාවන් නියම කිරීම සහ පළාත් හා ජාතික මට්ටමින් ස්ථාන මාරු ප්රතිපත්තියක් සැකසීම පිළිබඳව ද සාකච්ඡා විය.
විශේෂ අවශ්යතා සහිත දරුවන් ඉගෙනුම ලබන පාසල්වල පවතින වැසිකිළි හා ප්රවේශ පහසුකම්වල දැඩි ඌනතා පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
එම පාසල් සඳහා පවතින අවශ්යතා පිළිබඳව ජාතික විගණනයක් සිදු කිරීමටත් විශේෂ ප්රතිපාදන යොදවා දරුවන්ට පහසුවෙන් භාවිත කළ හැකි ගොඩනැගිලි හා සනීපාරක්ෂක පහසුකම් කඩිනමින් ඉදිකිරීමටත් උපදෙස් ලබා දීම සිදු විය.
පෙර පාසල් අධ්යාපනය නියාමනය කිරීම, ගුරු පුහුණු රාමුව විධිමත් කිරීම සහ අනවසර බාහිර ආයතන මගින් නිසි ප්රමිතියකින් තොරව සහතික පත්ර නිකුත් කිරීම වැළැක්වීම සඳහා ජාතික ප්රතිපත්තියක් සැකසීමේ අවශ්යතාවය ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මේ අතර, උසස් අධ්යාපන අංශය පිළිබඳ අනුකාරක සභාවේ ප්රගතිය, එම අනුකාරක සභාවේ සභාපති, නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනෙවිරත්න මහතා විසින් ද, පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්රගතිය එම අනු කාරක සභා සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ද කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.
නියෝජ්ය අමාත්ය නලින් හේවගේ මහතා ද පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් ද අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය නියෝජනය කරන නිලධාරීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.



















































