
ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව ජන වරමට පිටුපාමින් කටයුතු නොකරන බව කෘෂිකර්ම අමාත්ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.
සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙසට ඉල්ලමින් පැවැති පාගමන සම්බන්ධයෙන් මාධ්යවේදීන් අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරනු ලබන්නේ, තමන් ඇතුළු කණ්ඩායමට ලැබී ඇති ජනවරමට අනුව බව හෙතෙම කීය.
පසුගිය පාලන කාලය මෙන් නොව වර්තමානයේ නීතියේ අධිපත්ය තහවුරු කර ඇති බැවින් එම පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි බව අමාත්යවරයා කියාසිටියේය.
අදාළ ඉල්ලීම ඉටු කිරීමෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ජනවරමට පිටුපෑ බවට සැලකීමට සිදුවනු ඇති බව කේ.ඩී ලාල් කාන්ත මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.
"කොහොම වුණත්, අපේ හාමදුරුවන් වහන්සේලාටත්, පොදු ජනතාවටත්, සෑම සියලු දෙනාටමත් දැනගැනීම සඳහා ස්ථිරව යමක් කිව යුතුව තිබෙනවා. ඒ තමයි බලන්න ජනවරම දිහා. අපිට ලැබිච්ච ජනවරම දිහා බලන්න.
ඒ ජනවරම මත පදනම් වෙලා තමයි, ජනාධිපතිතුමා ගන්න තීරණ ගන්නේ. ඒ වගේම ආණ්ඩුව තීරණය ගන්නේ ජනවරමත් එක්ක. මේ ජනවරමේ තියෙන්නේ, නීතියේ ආධිපත්ය ඉල්ලලා තියෙන ජනවරමක් තියෙන්නේ. ඒ දිසාවට රට හරවලා තියෙන්නේ. ඒක කවුරුත් දන්නවා.
ඉතිං අපේ පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන් එකක් නෙවෙයි ඇත්තටම. ඒක ඉෂ්ට කරන්න බෑ. ඒක ඉෂ්ට කළොත් ජනාධිපතිතුමත් ආණ්ඩුවත් ජනවරමට පිටුපෑවා වෙනවා. ඒ නිසා ජනවරමට පිටුපාන්න කිසිසේත්ම බෑ. මේ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන් ඉල්ලීමක් නෙවෙයි. ඒක අපේ හාමදුරුවන් වහන්සේලාට තේරුම් ගන්න පුළුවන් දෙයක්."



















































