
බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කර පාකිස්තානයේ පැවති වයස අවුරුදු 19න් පහළ තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්රී ලංකාව අද (16) සමත් විය.
ෆයිසලාබාද්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස්කළේය.
ඉනිම ඔසවා තැබූ ආරම්භක පිතිකාරිනී සංජනා කාවිංදි පන්දු 44කට පමණක් මුහුණදෙමින් ලකුණු 64ක් රැස්කළාය. ඇගේ ඉනිම හයේ පහර 2ක් හා හතරේ පහර 7කින් වර්ණවත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩාකළ බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 154ක් පමණි.
සත්කාරක පාකිස්තානයේද සහභාගිත්වයෙන් පැවති මෙම තරගාවලියේ මූලික වටයේ දී සෑම කණ්ඩායමටම තරග 6 බැගින් හිමිවිය.
එහිදී තරග 5ක් ජයගත් ශ්රී ලංකාව හා තරග 3ක් ජයගත් බංග්ලාදේශය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.
පාකිස්තානයට ක්රීඩාකළ තරග අතරින් ජයගැනීමට හැකිවූයේ එක් තරගයක් පමණක් වූයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.



















































