
නිල්වලා ගඟ ද්රෝණියේ ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඒ අනුව, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ සහ මාතර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟේ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්රදේශවලට මෙම අවදානම පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නිල්වලා ගඟේ ඉහළ සහ මධ්යම ධාරා ප්රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම සහ ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය කිරීම මත මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
අදාළ ප්රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම ප්රදේශ හරහා ගමන් ගන්නා රියැදුරන් ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
එමෙන්ම, මේ සම්බන්ධයෙන් අවශ්ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත ද දැනුම් දී ඇත.
මෙම අනතුරු ඇඟවීම 2026 ඔක්තෝබර් 16 වැනිදා පස්වරු 6.00 දක්වා වලංගු වේ.



















































