
තායිවාන විදේශ අමාත්යවරයා විසින් චීනය මත අධික ලෙස රඳා පැවැත්මේ අවදානම පිළිබඳව යුරෝපා සංගමයට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්ය පවසයි.
පෝලන්තයේ පැවැති ආරක්ෂක සමුළුව අමතමින් තායිවාන විදේශ අමාත්යවරයා එහිදී ප්රකාශ කර ඇත්තේ, යුරෝපයේ ප්රති-කාර්මිකකරණ ක්රියාවලිය සඳහා තායිවානය විශ්වාසදායක සහකරුවෙකු මෙන්ම ප්රමුඛ උසස් තාක්ෂණික බලවතෙකු ලෙස ඉදිරිපත් වන බවය.
බ්රසල්ස් නුවර පැවැත්වීමට නියමිත යුරෝපා සංගම් රාජ්ය නායක සමුළුවේදී බීජිං පාලනය සමඟ කෙරෙන වෙළඳ සබඳතා පිළිබඳව ප්රමුඛව සාකච්ඡා කිරීමට නියමිතව තිබියදී තායිවාන විදේශ අමාත්යවරයා පෙන්වාදී ඇත්තේ, චීන සැපයුම්කරුවන් මත යැපීම යුරෝපා කලාපයේ ස්වාධීනත්වයට සහ නිදහසට බරපතළ තර්ජනයක් වන බවය.
මෙම රාජ්ය නායක සමුළුවේ පළමු න්යාය පත්රය ලෙසම චීනය පිළිබඳ මාතෘකාව සාකච්ඡාවට ගැනීමට නියමිත බවද පැවසෙයි.
මෙහිදී තායිවාන විදේශ අමාත්යවරයා රුසියාව සම්බන්ධයෙන්ද අදහස් පළකර ඇති අතර රුසියානු-යුක්රේන යුද්ධය හරහා, ඒකාධිපති බලශක්ති සැපයුම්කරුවෙකු මත යැපීමේ ඇති දරුණු අවදානම යුරෝපයට මනාව පසක් කරදී ඇති බවද පවසා තිබේ.
එසේම, කෘතිම බුද්ධියේ නැගී සිටීමත් සමඟ ලෝකය නවීන ඉතිහාසයේ වේගවත්ම තාක්ෂණික පරිවර්තනයකට ලක්වෙමින් පවතින බවද ඔහු පවසයි.



















































