
පාකිස්තානයේ බන්ධනාගාර තුළ පවතින අධික තදබදයට විසඳුම් සෙවීම සඳහා වහාම ක්‍රියාත්මක වනපරිදි අපරාධ විනිශ්චය පද්ධතියේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස පාකිස්තාන මානව හිමිකම් කොමිසම බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
එම කොමිසම පෙන්වා දෙන්නේ මෙය හුදෙක් අලුතින් බන්ධනාගාර ගොඩනැගීමෙන් පමණක් විසඳිය හැකි සරල ගැටලුවක් නොවන අතර, රටේ අපරාධ විනිශ්චය පද්ධතියේ පවතින ගැඹුරු අසාර්ථකත්වය හෙළිදරව් කරන ලක්ෂණයක් බවය.
පාකිස්තාන මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, 2024 වසරේ නිල දත්ත පෙන්වා දෙන්නේ පාකිස්තාන බන්ධනාගාරවලට දැරිය හැකි ධාරිතාවට වඩා සියයට 152ක අධික රැඳවියන් පිරිසක් රඳවා සිටි බවය.
මෙලෙස බන්ධනාගාර පිරී ඉතිරී යාම නිසා සනීපාරක්ෂක හා සෞඛ්‍ය පහසුකම් අඩාල වීම, බෝ වන රෝග පැතිරීම, මානසික සෞඛ්‍ය ගැටලු උග්‍රවීම, හිංසනයන් වැඩිවීම මෙන්ම රැඳවියන් පුනුරුත්ථාපනයට ඇති ඉඩකඩ අහිමි වීම වැනි බරපතළ මානව හිමිකම් කඩවීම් සිදුවන බවද එම වාර්තාව අවධාරණය කරයි.
අලුතින් බන්ධනාගාර ඉදිකිරීම මෙම අර්බුදයට විසඳුමක් ලෙස රජය පෙන්වා දුන්නද, මානව හිමිකම් කොමිසම පවසන්නේ ධාරිතාව ඇතුළතින් වැඩි කිරීමෙන් පමණක් මෙම ප්‍රශ්නය විසඳිය නොහැකි බවය.





















































