
යේමනයේ හූති කැරලිකරුවන් සෞදියට එල්ල කරන ප්‍රහාර වැළැක්වීම සඳහා පාකිස්තානයේ ප්‍රහාරක ජෙට් යානා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
සවුදි අරාබිය, පාකිස්තානය සහ තුර්කිය අතර 'Makkah Accord' නමැති ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් දින කිහිපයකට පසු මෙය ක්‍රියාවට නංවා ඇති බව නිල නොවන මූලාශ්‍ර උපුටා දක්වමින් එම වාර්තා දක්වා ඇත.
අමෙරිකානු ආරක්ෂක බුද්ධි නියෝජිතායතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයෙකු වන කර්නල් ඩේවිඩ් ඕ. ස්මිත් සඳහන් කර ඇත්තේ, පාකිස්තාන සෙබළුන් 8,000ක පමණ බලඇණියක් මේ වනවිට සෞදි අරාබියේ රඳවා තබා ඇති බවය.
මෙම පිරිසට පාකිස්තාන ගුවන් හමුදාවේ සහ යුද හමුදා ගුවන් ආරක්ෂක බලකායේ සෙබළුන් ඇතුළත් බවත්, ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ සෞදියේ තෙල් යටිතල පහසුකම්වල ආරක්ෂාව තහවුරු කිරීම බව සඳහන්ය.
කෙසේ වෙතත් ඉරානය සමග පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරක්ෂා කරගැනීමේ අරමුණින් පාකිස්තාන භටයන් ඉරානය සහාය දක්වන හූතිවරුන් සමග සෘජු සටන්වලට යොමු නොවනු ඇතැයි වාර්තා වේ.
පාකිස්තාන හමුදා නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, යේමනය තුළ ගොඩබිම් මෙහෙයුම් සඳහා තම හමුදාවන් යෙදවීමට අදහසක් නොමැති බවය.
ඒ වෙනුවට හූති කැරලිකරුවන් විසින් එල්ල කරනු ලබන ඩ්‍රෝන සහ මිසයිල තර්ජන මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය ගුවන් සහාය ලබාදීමට පමණක් පාකිස්තානය විසින් සිදුකරන බව සඳහන්ය.





















































