
පොල් වගාවට සිදුවන හානි සඳහා රක්ෂණ ක්‍රමයක් හෝ සුදුසු වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ තෙවැනි රැස්වීම ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථාවේදීය.
මෙහිදී පොල් වගාවට බලපා ඇති සුදු මැස්සා උවදුර ඇතුළු ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
පොල් වගාවට සිදුවන හානි සඳහා මේ වනවිට විධිමත් වගා වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඉදිරියේදී රක්ෂණ ක්‍රමයක් හෝ සුදුසු වන්දි ක්‍රමවේදයක් හඳුන්වාදීමේ හැකියාව සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් පවතින බව ඔහු පැවසීය.
එමෙන්ම වතු ආශ්‍රිත ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට අදාළ නිලධාරීන්ගේ සක්‍රීය මැදිහත්වීම අවශ්‍ය බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ අතර, අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති “තැඹිලි ගම්මාන 250” වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් හැකි සෑම ප්‍රදේශයකටම ව්‍යාප්ත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා තිබේ.





















































