
ශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ, ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් 2026 වසරේ ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා (Men’s World Athlete of the Year) සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.
නොවැම්බර් 29 වනදා මොනාකෝ හිදී පැවැත්වීමට නියමිත 'ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙල' වෙනුවෙන් ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද පිරිමි අංශයේ නාමයෝජනා 10 දෙනා අතරට රුමේෂ් තරංග ද ඇතුළත් කර ඇත.
2026 තරග වාරය තුළ අතිවිශිෂ්ට ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ රුමේෂ් තරංග, එහිදී Ultimate Championship, ඩයමන්ඩ් ලීග්, ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හි හෙල්ල විසිකිරීමේ රන් පදක්කම් දිනාගැනීමට සමත් විය.
මීට අමතරව, මීටර් 92.62 ක දුරක් හෙල්ල විසිකරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ද ඔහු සමත් වූ අතර, එය මෙවර තරග වාරයේ ලොව හොඳම දක්ෂතාව ලෙස ද සටහන් විය.
ඔහු මෙවර සහභාගි වූ තරග 14 න් තරග 13කම ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත් වීම විශේෂත්වයකි.
ලෝක මලල ක්‍රීඩා සංගමයට අනුව, මෙම නාමයෝජනා 10 දෙනා තේරී පත්ව ඇත්තේ ලෝක මලල ක්‍රීඩා සංගමයේ නියෝජිතයින් දෙදෙනෙකු සහ මහාද්වීපික කලාපීය සංගම් හයෙන් එක් අයෙකු බැගින් සමන්විත අටදෙනෙකුගෙන් යුත් කමිටුවක් මගිනි.
අවසාන ජයග්‍රාහකයා තේරීම සඳහා ක්‍රම හතරකින් සමන්විත ඡන්ද විමසීමේ ක්‍රියාවලියක් සිදුකරනු ලබන අතර, ඉන් අවසාන වටයට තේරීපත්වන තරගකරුවන් 6 (පිරිමි හා කාන්තා අංශවලින් තිදෙනා බැගින්) නොවැම්බර් 10 සහ 11 යන දිනයන්හිදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
අනතුරුව එම අවසන් තරගකරුවන් මොනාකෝ හි පැවැත්වෙන සම්මාන උළෙල සඳහා කැඳවනු ලබන අතර, එහිදී 2026 වසරේ ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ප්‍රකාශයට පත්කෙරේ.
මෙම සම්මානය සඳහා නිර්දේශ වූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග දැනටමත් ඉතිහාසයට එක්ව සිටී.





















































