
දුම්රිය මාර්ගයට පස් හා ගල් පෙරළීම හේතුවෙන් ඇණහිට තිබු රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය අද (05) පස්වරුවේ යළි ආරම්භකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද අලුයම කඩිගමුව හා ඉහළ කෝට්ටේ යන දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී පේරාදෙණියේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබු දුම්රියක් මතට පස් කන්දක් හා ගල් කඩාවැටීමෙන් එම දුම්රිය පිලී පැනීමට ලක්ව තිබුණි.
මේ හේතුවෙන් රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණු අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.
ඒ අනුව, අද පස්වරු 4. 35ට කොළඹ කොටුවේ සිට ගම්පොල බලා ධාවනය වන දුම්රිය හා පස්වරු 5. 15ට කොළඹ කොටුවේ සිට පේරාදෙණිය බලා ධාවනය වන දුම්රිය නියමිත වේලාවට ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.





















































