
1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත අහෝසි කර නව පනතක් පැනවීම සඳහා වන පනත් කෙටුම්පත පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ දී අවධානය යොමුව තිබේ.
ඒ, එම සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිවරයා 1996 ගෙන එන ලද උක්ත පනතින් පසුව, ගත වූ වසර 30ක කාලය පුරාම ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් නීතියක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය දිගින් දිගටම සාකච්ඡා වූ බව සඳහන් කළේය.
2006 වසරේදී එළිදැක්වූ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (UN CRPD) 2016 වසරේදී ශ්‍රී ලංකාව විසින් අපරානුමත කළ ද, එම ප්‍රඥප්තියට අනුකූල දේශීය නීතියක් සකස් කර ගැනීමට තවමත් නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
2016 සිට විවිධ අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩල තීරණ ගනිමින් මෙම කෙටුම්පත සකස් කිරීමට උත්සාහ කළ ද, එය සකස් කිරීමේදී මුල් අභිලාෂයන් සහ වත්මන් කෙටුම්පත් අතර යම් යම් පරස්පරතාවයන් මතු වී ඇති බැවින්, අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර මෙම ගැටලු නිරාකරණය කර ගැනීම වැදගත් බව සුගත් වසන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ සමාජිකයන්ගෙන් සමන්විත අනුකමිටුව විසින් තම නිරීක්ෂණ අන්තර්ගත කර සකස් කරන ලද ආදර්ශ පනත් කෙටුම්පත, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව, එම දෙපාර්තමේන්තුව විසින් යළි සකස් කර අමාත්‍යාංශය වෙත ලබා දී ඇති අතර, එම කෙටුම්පත පිළිබඳව ජාතික සභාවේ අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලිය දැනට සිදු වෙමින් පවතින බව අමාත්‍යාංශ නිලධාරීන් විසින් එහිදී පැහැදිලි කරන ලදී.
මින් පෙර අවස්ථාවකදී නීතිපති දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව යොමු කරන ලද නිරීක්ෂණද සලකා බලමින්, මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළු විවිධ පාර්ශ්වයන්හි නිරීක්ෂණ ද පදනම් කර ගනිමින් මෙම නීතිමය ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව ද මෙහිදී සියලු පාර්ශ්ව විසින් තම අදහස් පළ කරන ලද අතර, එක්සත් ජාතීන්ගේ ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට (UN CRPD) අනුකූල වන පරිදි ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
නව නීති පැනවීමේදී සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී, “අප නැතුව අපි ගැන තීරණ ගන්න එපා” යන පදනම මත පිහිටා, ආබාධ සහිත ප්‍රජාවගේ සෘජු නියෝජනය සහ සහභාගිත්වය ලබාගැනීමේ වැදගත්කම ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ නියෝජිතයින් විසින් පෙන්වා දෙන ලදී.
එමෙන්ම, ආබාධ සහිත තැනැත්තන් සඳහා සුදුසු රැකියා අවස්ථා ලබා දීම, සමාන සේවා කොන්දේසි හා වේතන හිමිකර දීම සහ රැකියා ස්ථානයන්හි සාධාරණ පහසුකම් සැලසීම, රාජ්‍ය සේවයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වෙන් කර ඇති රැකියා කෝටාව සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්තිමය යෝජනා සහ ඊට අදාළ රෙගුලාසි ශක්තිමත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් වන නීතිමය ප්‍රතිපාදන පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
වත්මන් සමාජ සහ ආර්ථික පසුබිමට හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන පරිදි, ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු වන තිරසාර නෛතික රාමුවක් කඩිනමින් සකස් කර ගැනීම සඳහා අදාළ සියලු ආයතන අතර එකඟතාවයකට පැමිණීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරිණි.





















































