
කුරුමිණි තර්ජන හේතුවෙන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සල් වනාන්තර මුළුමනින්ම විනාශ වීමේ අවදානම වළක්වා ගැනීම සඳහා, ආසාදනය වූ සල් ගස් 1,47,000ක් කපා දැමීමට ඉන්දීය මධ්‍යම රජය අනුමැතිය ලබාදී ඇත.
කලක සිට මෙම වනාන්තරවලට තර්ජනයක් වී සිටින 'සල් හාට්වුඩ් බෝරර්' නමැති කුරුමිණි විශේෂයේ සීඝ්‍ර ව්‍යාප්තිය පාලනයට මෙම පියවර ගැනීමට ප්‍රධාන හේතුව වී තිබේ.
ප්‍රබල පළබෝධකයෙකු වන මෙම කුරුමිණියා, සල් ගස්වල කඳ අභ්‍යන්තරයට හානි කරමින් ගස් විනාශ කරන බව මේ වනවිට අනාවරණය ගෙනගෙන ඇත.
ඒ අනුව සල් වනාන්තර ආරක්ෂා කරගැනීමේ මෙම විශේෂ මෙහෙයුමට ප්‍රදේශයේ ගම්වැසියන් ද සක්‍රියව දායක කරගෙන තිබේ.
දින කිහිපයකට පෙර කපා, පොතු ගළවා දමන ලද ගස්වලින් වෑස්සෙන යුෂ වෙත ඇදී එන කුරුමිණියන්, ගම්වැසියන් විසින් අතින් අල්ලා එකතු කරනු ලබයි.
මෙලෙස එකතු කරගන්නා කුරුමිණියන් පහසුවෙන් රැගෙන යාම සඳහා උන්ගේ දිගු සංවේදක ආධාරයෙන් මාල මෙන් අමුණා ගැනීමට ද ගම්වැසියන් පුරුදුව සිටිති.
ඩින්ඩෝරි දිස්ත්‍රික්කය මෙම උවදුරට වැඩිම බලපෑමකට ලක්ව ඇති අතර, එම දිස්ත්‍රික්කයේ කුරුමිණියන් එකතු කිරීමේ මධ්‍යස්ථාන 8ක් පිහිටුවා තිබේ.
එම මධ්‍යස්ථාන වෙත භාරදෙන එක් කුරුමිණියෙකු වෙනුවෙන් ගම්වැසියන්ට ඉන්දියානු රුපියල් 2ක මුදලක් ගෙවනු ලබයි.
ඒ අනුව මෙම කාලසීමාව තුළ කුරුමිණියන් 19,25,118ක් එකතු කර ඇති අතර, ඒ වෙනුවෙන් ප්‍රාන්ත වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 38.5ක මුදලක් ගම්වැසියන්ට ගෙවා ඇත.
මධ්‍ය ප්‍රදේශ්, චත්තිස්ගර්, ඔඩිෂා, ජාකන්ඩ් සහ උත්තර ප්‍රදේශ් යන ප්‍රාන්ත පුරා පැතිර පවතින වනාන්තරවල ප්‍රධාන ශාක විශේෂය වන්නේ සල්ය.





















































