
විශාල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන අත්‍යවශ්‍ය වුවද, එම සියලු ආයෝජන සහ පාර්ශ්වකාරීත්වයන් සම්පූර්ණ වගවීමකින් සහ නිසි නියාමනයකින් යුතුව සිදුවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ දෙවන අදියර නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට සැප්තැම්බර් 30 වන දින එක්වෙමිනි.
රටට පැමිණෙන ආයෝජනවල ප්‍රමාණය මෙන්ම ඒවායේ ගුණාත්මකභාවය, තිරසාර බව සහ රටේ දිගුකාලීන ආර්ථික හා උපායමාර්ගික අභිලාෂයන්ට ගැළපෙනවාද යන්න පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු බව ඇය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ උසස් වරාය පද්ධතිය, පුහුණු ශ්‍රම බලකාය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට ඇති ප්‍රවේශය නිසි ලෙස භාවිත කරමින්, තිරසාර ආයෝජන ගෙන ඒමටත්, රැකියා උත්පාදනයට හා අපනයන වැඩි කිරීමටත් රජය අපේක්ෂා කරයි.
කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ පර්යන්තයේ භාවිත වන ස්වයංක්‍රීය දොඹකර (Automated Cranes), විද්‍යුත් භාන්ඩ ප්‍රවාහන රථ (Electric ITVs) සහ සජීවී නිරීක්ෂණ පද්ධති වැනි නූතන ඩිජිටල් තාක්ෂණයන් අගය කරන අතරම, මෙවැනි තාක්ෂණයන් ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය තාක්ෂණික සහ මානව කුසලතා වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය කලාපීය සහ ජාත්‍යන්තර සහකරුවන් සමඟ ඇති සබඳතා මත රැඳී ඇති අතර, විශේෂයෙන් ඉන්දියාව සමඟ ඇති වෙළෙඳ සහ ආයෝජන සබඳතා දෙරටේම අන්‍යෝන්‍ය අභිලාෂයන්ට ගෞරව කරමින් තවදුරටත් ශක්තිමත් කරගත හැක.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, වරාය, නාවික හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.















































