
විදේශ ශ්‍රමිකයන් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේද, ආරක්ෂිත විදේශ රැකියා අවස්ථා සහ ආර්ථික සුරක්ෂිතතාවක් තහවුරු කිරීමේ අවශ්‍යතාව පවතින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (28) කොළඹ පැවති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වැඩසටහනකට එක්වෙමිනි.
විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, ශ්‍රමිකයන් පිටත්වන රටවල් සහ ගමනාන්ත රටවල නියෝජිතයන් ද මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ වැඩබලන අමාත්‍ය හේමචන්ද්‍ර මහතා, විදේශ රැකියා සඳහා යාම අවදානමකට නොව අවස්ථාවකට මඟ පෙන්වන ක්‍රියාවලියක් විය යුතු බව අවධාරණය කළේය.
විදේශ ශ්‍රමිකයන් සඳහා රැකියාවක් සඳහා පිටත්වීමට පෙර සූදානම් වීමේ අවස්ථාවේ සිට බඳවා ගැනීම, සේවයේ නිරතවීම, සමාජ ආරක්ෂණය, නැවත මව් රටට පැමිණීම සහ යළි සමාජගතවීම දක්වා සමස්ත ක්‍රියාවලිය පුරාම ආරක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය වසර දෙක තුළ රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව ද අමාත්‍යවරයා අවධානය යොමු කළේය.
ඒ අතර, ලියාපදිංචි වී සිටින සුදුසුකම්ලත් විදේශ ශ්‍රමිකයන් සඳහා මරණ වන්දි මුදල රුපියල් මිලියන 2ක් දක්වා ඉහළ නැංවීම, දායකත්ව මත පදනම් වූ විශ්‍රාම වැටුප් ක්‍රමයක් සඳහා කටයුතු ඉදිරියට ගෙන යාම සහ නව විදේශ රැකියා පනතක් සකස් කිරීමේ කටයුතු ඇතුළත් වේ.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සිය ඡන්ද අයිතිය භාවිත කිරීමට හැකිවන පරිදි යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා ද මේ වන විට සූදානම් වෙමින් පවතී.
විදේශ ශ්‍රමිකයන් සඳහා වන සේවා ශක්තිමත් කිරීමේදී ඩිජිටල්කරණයේ වැදගත්කම ද වැඩබලන අමාත්‍යවරයා අවධාරණය කළේය.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ එක්ව හඳුන්වාදී ඇති “LankaKonect” සේවාව මඟින් විදේශගත ශ්‍රමිකයන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට, ඒවායේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ රජයේ සහයෝගය වඩාත් සෘජුව ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද ඔහු කියාසිටියේය.
ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ප්‍රතිපත්තිය විදේශගත වන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම කෙරෙහි පමණක් අවධානය යොමු නොකළ යුතු බවත්, නිපුණතා සංවර්ධනය, වඩාත් යහපත් රැකියා අවස්ථා, ආරක්ෂිත සහ විධිමත් විදේශ රැකියා ක්‍රියාවලිය, ශක්තිමත් ශ්‍රමික ආරක්ෂණය සහ ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල දිගුකාලීන ආර්ථික සුරක්ෂිතතාව කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
විශේෂයෙන්ම සමාජ ආරක්ෂණය, බඳවා ගැනීම් නියාමනය, පවුල් ආරක්ෂාව සහ නැවත සමාජගත කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ශ්‍රමිකයන් පිටත්වන සහ ගමනාන්ත රටවල් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් රටට සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදෙන සුවිශේෂී දායකත්වය අගය කරමින්, ඔවුන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ ආරක්ෂාව ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ප්‍රතිපත්තියේ ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස සැලකීමේ වැදගත්කම අමාත්‍යවරයා යළි අවධාරණය කළේය.





















































