
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව, එරට රාජ්‍ය සංචාරයකට එක්ව සිටින චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අමෙරිකාවට ළඟාවී තිබේ.
චීන ජනාධිපතිවරයා විශේෂ ගුවන් යානයකින් අමෙරිකානු වේලාවෙන් ඊයේ (23) පස්වරුවේ වොෂින්ටන්හි තදාසන්නව පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණියේය.
චීන ජනපති ආර්යාව සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික ත්සායි ඡි මහතා, විදේශ ඇමති වං යී මහතා ඇතුළු පිරිසක් චීන ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටිති.
එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ආර්යාව වන මෙලනියා, ෂී ජින්පිං මහතා සහ පෙං ලීයුවාන් ආර්යාව පිළිගැනීම සඳහා ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.
ෂී ජින්පිං මහතාගේ මෙවර අමෙරිකානු සංචාරය සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙන අවස්ථාවක් බවත් විශිෂ්ට රාජ්‍ය නායකයෙකු වන එතුමා සමඟ එක්ව ගැඹුරින් අදහස් හුවමාරු කරගනිමින් දෙරට අතර සබඳතා තහවුරු කරගැනීමට කැමැත්තෙන් පසුවන බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චීන ජනපති පිළිගනිමින් සඳහන් කළේය.
මෙහිදී ෂී ජින්පිං මහතාද අවධාරණය කර සිටියේ චීනයත් අමෙරිකාවත් හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් බවට පත් නොවිය යුතු බවයි.
චීන ජාතියේ දැවැන්ත පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම යනු අමෙරිකාවේ විශිෂ්ටත්වය යළි හිමිකර ගැනීමේ අරමුණට පටහැණිවීමක් නොවන බව චීන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ට්‍රම්ප් මහතා පසුගිය මැයි මාසයේ චීනයේ නිල සංචාරයට එක් වූ අවස්ථාවේදී, "සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවරත්ව සම්බන්ධතාවය" ගොඩනැගීමට තමා හා එකඟ වී ඇති බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේය.
දෙරට අතර තරගකාරීත්වයක් තිබුණ ද, සහයෝගීතාවය මූලික කරගනිමින් එය නිසියාකාරයෙන් හසුරුවා මතභේද නිසිලෙස පාලනයක් කරමින්, සාමකාමී ස්ථාවරත්වයක් පවත්වා ගනිමින් නව යුගයට සරිලන ලෙස දෙරට අතර මනා සම්බන්ධතාවයක් ඇතිව ඉදිරියට ගමන් කළ යුතු බවත් ෂී ජින්පිං මහතා කියා සිටියේය.
එමෙන්ම ලෝකය සංවර්ධනය වෙමින් පැවතිය ද, යුග වශයෙන් වෙනස් වෙමින් පැවතිය ද, චීනය හා අමෙරිකාව සාමකාමීව කටයුතු කිරීමේ ඓතිහාසික පදනම වෙනස් වී නොමැති බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර සිටියේය.


















































