header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ලොවක් බලාසිටි පාස්කු නඩුව - මැදියම් රැයේ ලබාදුන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය
ලොවක් බලාසිටි පාස්කු නඩුව - මැදියම් රැයේ ලබාදුන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය
Mobitel 1278

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් වරදකරුවන් කෙරූ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකුට වෙන් වෙන්ව වසර 200 ඉක්මවූ සිර දඬුවම් නියම කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කළේය.

වරදකරුවන්ගේ නිශ්චල සහ චංචල දේපොළ සියල්ල ද රාජසන්තක කිරීමටද  නියෝග කරනු ලැබීය.

මේ අතර දඬුවම් ලැබූ ඇතැම් විත්තිකරුවන් සිනහමුසු මුහුණින් අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණි ආකාරයත්, ඇතැමුන් යම් හස්ත මුද්‍රාවක් ප්‍රදර්ශනය කළ ආකාරයත් දක්නට ලැබුණා.

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා දිවයිනේ ස්ථාන 08කදී පුද්ගලයින් 269 දෙනෙකුට දිවි අහිමිකරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම සහ අන්තවාදී මතවාදය වපුරවමින් ජාතීන් අතර අසමගිය පැතිරවීම යන චෝදනා සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබූ නඩුවේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කෙරුණි.

2023 වසරේ ඔක්තෝබර් මසදී ඇරඹි මෙම නඩු විභාගයේදී විත්තිකරුවන් 16 දෙනෙකු නීතිඥ නියෝජනය සහිතවද, විත්තිකරුවන් 08 නීතිඥ නියෝජනයක් නොමැතිව ද නඩු විභාගයට මුහුණදුන්හ.

ඒ අනුව වසර 3කට වැඩි කාලයක් සිදුකෙරුණු දීර්ඝ හා සංකීර්ණ නඩු විභාගයකින් පසු කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වූ නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරු මඩුල්ල මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

නඩු විභාගය අතරතුර එහි 17 වන විත්තිකරු වූ යසීම් බාවා අබ්දුල් රවුෆ් නැමැත්තා මියගොස් සිටි අතර, විත්තිකරුවන් 24 දෙනෙකු සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණි.

දහවල් 12.30ට පමණ අනෙකුත් විනිසුරුවන් දෙපළගේ එකඟත්වය ඇතිව ඒකමතික තීන්දුවක් ලෙස තීන්දුව ප්‍රකාශ කිරීම ඇරඹූ සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතා පැවසුවේ, ඉතා විශාල ලිඛිත නඩු තීන්දුවක වැදගත්ම කරුණු පමණක් විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත්කරන බවය.

"පළමුව අපගේ අවධානය යොමු කෙරුණා රට තුළ අන්තවාදී මතය වපුරවමින් ජාතින් අතර අසමගිය පැතිරවීමේ වැඩමුළු පැවැත්වීම සහ ආයුධ පුහුණු කඳවුරු පැවැත්වීමේ චෝදනා පිළිබඳ. අධිකරණය ඉදිරියේ සාක්ෂි දුන් පොදු සාක්ෂිකරුවෙක් සාක්ෂි දී තිබෙනවා මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගත් සහරාන්, හස්තුන්, ඉන්ෂාෆ් ඇතුළු කණ්ඩායම සමඟ මෙම නඩුවේ විත්තිකරුවන් වන නවුෆර්, ගෆූර්, මිල්හාන්, සාදික්, සාහිඩ්, රිස්කාන්, සන්ස්දීන්, සාෆි, කලිඩ් සමීර්, රාසා හුසේන් යන අය අන්තවාදී දේශන සහ ආයුධ පුහුණු කඳවුරු පැවැත්වූ බව.

මෙරට මුස්ලිම් රාජ්‍යයක් කළයුතු බවට අන්තවාදී දේශන පවත්වා තිබෙනවා. මෙම කඳවුරුවලදී IS ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරීම් කරලා තිබෙනවා.

මිල්හාන් සහ සාදික් කියන විත්තිකරුවන් කටුවපිටියේ මරාගෙන මැරුණු ප්‍රහාරකයා වූ හස්තුන් සමඟ එකතුවෙලා ආයුධ භාවිතය කඩුවලින් සහ පිහිවලින් පහරදීම පිළිබඳ පුහුණුවීම් කරලා තියෙනවා.

රහසිගත සාක්ෂිකරුවෙක් පවසා තිබෙනවා සහරාන් මරාගෙන මැරෙන කණ්ඩායම් 02ක් සූදානම් කළා ඊට සහභාගි වූ නවුෆර් මවුලවිට - අබු ශරීම්, ගෆුර් මාමාට - අබු හදිත්, මිල්හාන්ට - අබු සිලා, සාදික්ට - අබු උමර් සහ සාහිඩ්ට - අබු ෆලා වගේ නම් විත්තිකරුවන් 10 දෙනෙකුට සහරාන් විසින් ලබාදුන්නා කියලා.

ජවුෆර් සාදික් නම් සාක්සෂිකරුවෙක් සාක්ෂි දී තිබෙනවා සාදික් සහ සාජිත් යන විත්තිකරුවන් "සහජීවනය කියලා දෙයක් නැහැ" ලෙස පවසමින් දේශන පැවැත්වූ බව.

මුන්ෂික් නැමැති සාක්ෂිකරු ප්‍රකාශ කර තිබෙනවා සාදික් අබ්දුල්ලා නැමැති විත්තිකරු තුර්කියට හරහා සිරියාවට ගිහින් IS ත්‍රස්ත පුහුණුව අරගෙන ආවා කියලා."

අනතුරුව ප්‍රධාන චෝදනාව වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් නඩු විභාගයේදී ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කෙරුණි.

"කුමන්ත්‍රණයට සම්බන්ධ අය එක තැන පේලිගැසී සිටියයුතු නැහැ. මුලදී,අතරමැද දී මෙන්ම අවසානයට සම්බන්ධ වූවනුත් එහි පාර්ශවකරුවන්. සහරාන් හෂීම්ගේ සහෝදර රිල්වාන් ත්‍රස්ත ප්‍රහාරයට කලකට ඉහත බෝම්බ සෑදීමට යාමේදී බරපතළ ලෙස තුවාල ලබා තිබුණා.

එහිදී ඔහුව කාන්තන්කුඩියේ සිට ගෙනැවිත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්න මුල්වී ඇත්තේ මේ නඩුවේ විත්තිකරුවන් වන ගෆූර් මාමා සහ සාදික් අබ්දුල්ලායි.

කාන්තන්කුඩියේ සිටි සහරාන්ලා සහ මාවනැල්ල හිඟුලේ සිටි සාදික්ලා කලක සිට සමීපව සම්බන්ධතාවයක් පැවැත්වූ බව මේ සිදුවීමේදී පැහැදිලිවෙනවා. 
ඊළඟට ත්‍රස්ත ප්‍රහාරයට සූදානම්වීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් Safe House කුලියට ගැනීමේදී ඒ සඳහා කිංස්බරි ප්‍රහාරක මුබාරක් සමඟ එක්ව කටයුතු කරලා තියෙන්නේ මේ නඩුවේ විත්තිකරුවන් වන මොහොමඩ් සාෆි සහ කාලිඩ් සමීර්.

ඒ අනුව මෙම සියලු කරුණු විශ්ලේෂණය කිරීමේදී ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ මේ නඩුවේ විත්තිකරුවන් වන නවුෆර්, ගෆූර් මාමා, මිල්හාන්, සාදික්, සාහිඩ්, රිස්කාන්, සන්ස්දීන්, සාජිත්, සාෆි, කලිඩ් සමීර්, රාසා හුසේන් යන විත්තිකරුවන් අතර තිබූ සමීප සම්බන්ධතාවය පැහැදිලිවෙනවා.

ඔවුන් සියලුදෙනා කණ්ඩායමක් ලෙස මේ අපරාධ කිරීමේ අදහසින් එකට රැඳී සිටීම තුළ කුමන්ත්‍රණය නැමැති චෝදනාව ඔප්පු කිරීමට අවශ්‍ය සාධක තෘප්ත වෙනවා".

පසුව විත්තිකරුවන් 24 දෙනා තමන්ට එල්ලවී තිබූ චෝදනා සම්බන්ධයෙන් ඉදිරිපත්කර තිබූ විත්තිවාචක සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ 09 දෙනෙකුගේ විත්තිවාචක පිළිගන්නා අතර සෙසු විත්තිවාචක 15 ප්‍රතික්ෂෙප කරන බවය.

" පළමු විත්තිකාර නවුෆර් සිය විත්තිවාචකය තුළ පැමිණිල්ලේ නඩුව පිළිබඳ සාධාරණ සැකයක් මතුකිරීමට සමත්වී නැහැ. වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමෙන් පසු සහරාන්ලා සොරාගත් රිවෝල්වරය හමුවුණේ මේ ගෆූර් මාමා ළඟ තිබියදීයි.

තෙවන විත්තිකාර මිල්හාන් පුහුණු කඳවුරුවලදී අවිආයුධ පුහුණුව ලබාදී තිබෙනවා. සාදික් සහ සාහිඩ් යන සහෝදරයන් දෙදෙනාද මෙම බෝම්බකරුවන් සමඟ තමන්ට සම්බන්ධයක් නොතිබූ බවට ඉදිරිපත්කරන විත්තිවාචක අධිකරණය ප්‍රතික්ෂේප කරනවා.

හයවන විත්තිකාර රිස්කාන් නමැත්තා ත්‍රස්ත ප්‍රහාරයට පෙර දිනක කටුවපිටියේ සිට නින්දවූර් දක්වා පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි රථයකින් පැය 08ක් ගමන් කර තිබෙනවා.

අටවන සහ නවවන විත්තිකරුවන් වූ ෆිදර්වුස් සහ සාජිත්ට පුපුරණ ද්‍රව්‍ය සහ ගබඩාකර තිබූ ස්ථාන පිළිබඳ දැනීමක් තිබී තිබෙනවා. දහය සහ එකොළහ විත්තිකරුවන් වූ මොහොමඩ් සාෆි සහ කලීඩ් සමීර් තමයි Safe House මිලදී ගැනීමට කිංස්බරි ප්‍රහාරක මුබාරක් සමග එක්ව තියෙන්නේ.

14 වන විත්තිකාර රශීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම් සම්බන්ධයෙන් අන්තවාදී දේශන කළා කියලා පැමිණිල්ල චෝදනා කළාට, ඔහුගේ සාපරාධිත්වය ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නැහැ. ඔහු ඇතුළු විත්තිකරුවන් 09 දෙනෙකුගේ විත්තිවාචක අවසන් නිගමන සඳහා අපි සලකා බලනවා".

ඒ අනුව සියලු කරුණු විශ්ලේෂණය කළ තමන් ඇතුළු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් 15 දෙනෙකුට ඔවුන්ට එරෙහිව ඉදිරිපත්කර ඇති අධිචෝදනාවන්ට වරදකරු කිරීමටත්, සෙසු විත්තිකරුවන් 09 දෙනා නිදොස් කොට නිදහස් කිරීමටත් තීන්දු කරන බව සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතා පැවසීය.

අනතුරුව වරදකරුවන්ට ලිහිල් දඬුවම් නියම කිරීම සඳහා කරුණු දැක්වීමට අවස්ථාව හිමිවිය.

එහිදී විත්තිකරුවන් 07 දෙනෙකු වෙනුවෙන් නීතිඥ කනීල් මද්දුමගේ මහතා ලිහිල් දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියා.

" ස්වාමිනි, මේ සිදුවූ වේදනාබරිත සිදුවීම යළිත් කිසිදාක සිදු නොවේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මම පෙනී සිටින චූදිතයන්ට ඒ සිදුවීම පිළිබඳ පසුතැවීමක් තිබෙනවා. කාදිනල් හිමි වතිකානු වෙබ් අඩවියකට කියලා තියෙනවා සතුරාට ප්‍රේම කරන්න කියලා. එබැවින් මොවුන්ට දැඩි දඬුවම් නියම කිරීම හරහා තවදුරටත් සමාජයේ ජන වර්ග අතර වෛරය වැපිරිය යුතුව නැහැ. මොවුන්ට අත්හිටවූ සිරදඬුවම් හෝ ලිහිල් දඬුවම් නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා."

අනතුරුව නීතිඥවරුන් නොමැතිව විත්තිකරුවන් වෙන්වෙන්ව තම දඬුවම් ලිහිල්කරගැනීමට අධිකරණයේ කරුණු දැක්වීය.

පළමු විත්තිකාර නවුෆර් මවුලවි

"මම අදහන ඉස්ලාම් දහමේ නියමයන්ට අනුව අධිකරණ බලධාරියෙකුගෙන් සහන ඉල්ලීම සුදුසු දෙයක් නොවෙයි. ඒ නිසා මම කිසිම ඉල්ලීමක් කරන්නේ නැහැ. අධිකරණය දෙන දඬුවම එලෙසම භාරගන්නවා."

තුන්වන විත්තිකාර මොහොමදු අහමදු මිල්හාන්

"අධිකරණය මා වරදකරු කර තිබුණත්, තවමත් මගේ ස්ථාවරය මා නිවැරදිකරු කියලා.මගේ සහෝදරයා මානසීකව දුර්වල පුද්ගලයෙක්. දෙමව්පියන් වයස්ගත නිසා ඔවුන්ට සහෝදරයාව බලාගැනීමට අපහසුයි.

මේ සිදුවීමත් එක්ක මගේ පවුලේ කිහිපදෙනෙකුම අත්අඩංගුවට පත්වුණා. ඒ නිසා මාත් මේ සිදුවීමේ වින්දිතයෙක් ලෙස සලකා ලිහිල් දඬුවමක් නියම කරන්න".

සිව්වන විත්තිකාර සාදික් අබ්දුල්ලා

"අද මම සතුටින් ඉන්නේ. මොකද අපිත් එක්ක ඉදපු 09 දෙනෙක් නිදොස්කොට නිදහස් වුණා. මම කරපු දේ ගැන මමයි, මාව මවපු දෙවියනුයි දන්නවා. මගේ ආගමික විශ්වාස අනුව මේ ලෝක විනාශයෙන් පස්සේ සියලු ලෝක වාසින් පුනරුත්පත්තිය ලබනවා.

ඒ වෙලාවේ මේ ප්‍රහාරය සිදුකළ අයත් එතනට එනවා. එවිට සියලු ලෝක වාසීන් ඉදිරියේ දෙවියන් නඩු විභාගය සිදුකර තීන්දුවක් දෙයි. එදාටත් මම වැරදිකරුනම් මම වැරැද්ද පිළිගන්නවා. හැබැයි එදාට මම වැරදිකරු නොවුනොත් මුළු ලෝකයම මම නිවැරදිකරු බව පිළිගනීවි".

පස්වන විත්තිකරු සාහිඩ් අබ්දුල් හක්

"මට කලින් කතා කළේ මගේ සහෝදරයා. ඔහුයි මායි දැන් අවුරුදු 07 1/2ක් සිරගතව ඉන්නවා. නිදහස් කළ විත්තිකරුවන් අතරින් 14 වන විත්තිකරු වන රශීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම් මගේ පියා. ඔහු ප්‍රහාරයට පෙර මාස 03 ඉදලා සිරගතවෙලා ඉදලයි ඔය නිදහස ලැබුවේ. අපේ ලොකු මල්ලි ප්‍රහාරයෙන් පස්සේ මාස 09ක් සිරගතව සිටියා. නංගි අවුරුදු 2 1/2ක් සිරගතව සිටියා. මව මාස 03ක් සිරගතව සිටියා.

පවුලේ බාලම මල්ලි 9 වසරේ සහ බාල නංගි 7 වසරේ ප්‍රහාරයෙන් පස්සේ දවස් 05ක් පොලිස් කූඩුවේ සිටියා. මාව මේ අධිකරණයෙන් අද වරදකරු කළත්, මායි මගේ දෙවියනුයි දන්නවා පාස්කු ප්‍රහාරයට මම වරදකරුවෙක් නොවෙයි කියලා. මේ නඩුවට රජය ප්‍රකෝටි ගණන් වියදම් කරලා තියෙනවා. ලෝකයම බලාගෙන ඉද්දි 24 දෙනාම නිදහස් වුනොත් ඒක ජනතාව බලාපොරොත්තු වෙන දෙයක් නොවේ."

හයවන විත්තිකාර මොහොමඩ් රිස්කාන්

"මම මේ මුළු නඩුවේදීම නිහඩව සිටියේ. සියල්ල නිහඩව බලාගෙන සිටියා. එහෙම ඉඳලා අද වැරදිකරුවෙක් වෙලත් බොහෝම සතුටින් ඉන්නේ. නමුත් මම දන්නවා ඔබතුමන්ලා විශාල පීඩනයකින් ඉන්නේ. යම් වරදක් වුණා, යම් කෙනෙක් ඒක කළා. නමුත් මේ වගේ දෙයක් අපි සැලසුම් කළේ නැහැ.

හැබැයි ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ වගේ මේකට සම්බන්ධ යම් පිරිසක් ඉන්නවා. අපි මේකට වැරදිකාරයෝ වෙලත් සතුටින් ඉද්දි, මේකට සම්බන්ධ යම් පිරිසකගේ ඔළුව ගිනි අරන් සෑහෙන දුකකින් ඇත්තේ. අපි CID එකේ ඉද්දි ඇහුණ යම්යම් දේවල් තියෙනවා. මේකට අදාළ කට්ටිය ඉන්නවානම් අනිවාර්යයෙන් දඬුවම් ලැබිය යුතුයි. අල්ලා දෙවියන්ගේ නාමයෙන් අපි වරදක් කරලා නැහැ. නමුත්.... නැහැ එක්කෝ ඕනේ නැහැ. "

නවවන විත්තිකාර මොහොමඩ් සාජිත්

" මට මේ දඬුවම් ලිහිල් කරන්න කියලා ඉල්ලන්න ලැජ්ජයි. මොකද ජීවිත විශාල ගණනක් නැතිවෙලා ඒකට අපිව වරදකරුවන් කරලයි තියෙන්නේ. වින්දිතයන්ගේ පවුල් හිතයි ලැජ්ජා නැතුව දඬුවම් ලිහිල් කරන්නත් ඉල්ලනවාද කියලා. එත් මම නිවැරදිකරුවෙක් නිසා දඬුවම් ලිහිල් කරන්න ඉල්ලනවා".

එකළොස්වන විත්තිකාර කාලිඩ් සමීර්

"අත්අඩංගුවට ගන්න ටික දවසකට පෙර මට විවාහ යෝජනාවක් අවා. ඒ ගෑනු ළමයා තාම මං වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඉතිං මටත් ජීවිතය ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා මට අත්හිටවූ සිරදඬුවමක් දෙන්න".

අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් විත්තිකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කරුණු දැක්වීය.

"ස්වාමිනි, විත්තිකරුවන්ට එරෙහිව පවත්නා නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව ඔවුන්ට ලිහිල් හෝ අත්හිටවූ සිරදඬුවම් ලබාදෙන්න හැකියාවක් නැහැ. 
මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරකයින් වූ සහරාන්, ඉන්ෂාෆ් වැනි අය කිව්වේ මොකක්ද? ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කරන්න අන්‍යාගමිකයින් මරාදමන්න කියලා. ඒ මහා අපරාධයට කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදුන් මේ විත්තිකරුවන් තවමත් ඒ මතයේම එළඹ සිටිනවා.

මොවුන් කිසිවෙක් මේ මොහොතේත් පශ්චත්තාපවීමක් හෝ කනගාටුවක් පළ කරන්නේ නැහැ. මෙවැනි විත්තිකරුවන් හැකිතාක් සමාජයෙන් දුරස්කර තැබිය යුතුයි. මෙවැනි අන්තවාදී අදහස් දරන්නන්ට වැදගත් පණිවුඩයක් ලබාදෙමින් මේ විත්තිකරුවන්ට දියහැකි උපරිම දඬුවම් ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා".

ඒ අනුව විත්තියේ ලිහිල් දඬුවම් ආයාචනා සහ පැමිණිල්ලේ සැලකිරීම් ඊයේ රාත්‍රී 8ට පමණ අවසන් වූ අතර ඉන්පසු විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් කල් තබනු ලැබීය.

අනතුරුව රාත්‍රී 11.00ට පමණ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමේ නියෝගය ප්‍රකාශයට පත්කළේය.

එහිදී විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද, විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220 බැගින්ද, විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240ක් සහ එක් විත්තිකරුවෙකුට වසර 260 බැගින්ද බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමකරන බව සඳහන් කළේය.

ඒ අනුව වසර 200 බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූයේ හයවන විත්තිකාර මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්, හත්වන විත්තිකාර මොහොමඩ් මන්සූර් මොහොමඩ් සන්ස්දීන්, එකළොස්වන විත්තිකාර හුසේයිනුල් රිස්වි කාලිඩ් සමීර්, පහළොස්වන විත්තිකාර මොහොමදු හනීෆා සෙයිනුල් ආබ්දීන් සහ දහනවවන විත්තිකරු වූ කච්චි මොහොමදු මොහොමදු ජෙම්සිත් යන අයටය.

සහරාන්ගේ අන්තවාදී න්‍යායාචාර්යවරයා සහ ඔහුගෙන් පසු අන්තවාදී කණ්ඩායමේ නායකයා ලෙස හඳුන්වනු ලැබූ නඩුවේ පළමු විත්තිකාර මොහොමදු ඊබ්‍රාහිම් මොහොමදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවි, නවවන විත්තිකාර මොහොමඩ් රාමිෂ් මොහොමඩ් සාජිත්, දසවන විත්තිකාර අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි, දහසය වන විත්තිකාර මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස් සහ දහඅටවන විත්තිකාර රසික් රාසා හුසේන් යන විත්තිකරුවන්ට අධිකරණය වසර 220 බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

අධිකරණය වසර 240ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ විත්තිකරුවන් වූයේ දෙවන විත්තිකාර මොහොමඩ් සරිබු ආදම් ලෙබ්බේ හෙවත් ගෆූර් මාමා, තුන්වන විත්තිකාර හයාතු මොහොමදු අහමදු මිල්හාන්, හතරවන විත්තිකාර මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා සහ පස්වන විත්තිකාර මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක් යන සහෝදරයින් දෙපළටය.

එමෙන්ම නඩුවේ අටවන විත්තිකාර අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිදර්වුස් යන අයට අධිකරණය වසර 260ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

එසේම වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාගේම නිශ්චල සහ චංචල දේපළ සියල්ල නඩු තීන්දුව නිකුත් කළ මොහොතේ පටන් රාජසන්තක කරන බවද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.

වසර 200කට වැඩි බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ විත්තිකරුවන් 15 දෙනා අද අලුයම 2.30ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.

එහිදී විත්තිකරුවන් අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන මොහොතේ සිනාමුසු මුහුණින් පැමිණෙන ආකාරයත්, ඇතැම් විත්තිකරුවන් යම් හස්ත මුද්‍රාවක් පෙන්නුම් කරන ආකාරයත් නිරීක්ෂණය විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

 මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

TT ක්‍රමයට කළ තවත් වංචාවක්...රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පන්නලා

TT ක්‍රමයට කළ තවත් වංචාවක්...රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පන්නලා

 එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

වාද විවාද මැද අවසන් වූ අද පාර්ලිමේන්තු සභාවාරය

වාද විවාද මැද අවසන් වූ අද පාර්ලිමේන්තු සභාවාරය

මෝටර් රථයක පිටුපස යන්න පුළුවන් දෙදෙනෙකුට විතරද?

මෝටර් රථයක පිටුපස යන්න පුළුවන් දෙදෙනෙකුට විතරද?

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

22ට එරෙහිව මහ රෑ පන්දම් විරෝධයක්...

22ට එරෙහිව මහ රෑ පන්දම් විරෝධයක්...

“22 ව්‍යවස්ථාවට පටහැනි නෑ”පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත හැකියි

“22 ව්‍යවස්ථාවට පටහැනි නෑ”පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත හැකියි

නව මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු පත් කරන්න ජනපතිගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

නව මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු පත් කරන්න ජනපතිගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

වසර 200, 220, 240 සහ 260 බැගින් පාස්කු වැරදිකරුවන් 15දෙනාට සිරදඬුවම්

වසර 200, 220, 240 සහ 260 බැගින් පාස්කු වැරදිකරුවන් 15දෙනාට සිරදඬුවම්

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ  | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ | Ada Derana