
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථවල මාර්ග බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමට තීරණය කර තිබේ.
ඒ වාහන වායු විමෝචන වැඩසටහන මඟින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහයෝගයෙන් කොළඹ, බැස්ටියන් මාවතේ බස් නැවතුම්පොළේ නවතා තිබූ බස් රථ හදිසි පරීක්ෂාවකට යොමු කිරීමෙන් අනතුරුවය.
මෙහිදී බස් රථවල මාර්ග යෝග්‍යතාව සහ වායු විමෝචනය පරීක්ෂා කර ඇති අතර, එහිදී බස් 59කින් 39කටම නඩත්තු නියෝග නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
දහවල් කාලයේ දී ධාවනයේ නොයෙදෙන සහ පරීක්ෂාවලට හසුනොවන බස් රථ ඉලක්ක කරගනිමින් මෙම විශේෂ රාත්‍රී මෙහෙම දියත් කර තිබුණි.
මේ අතර, මෙයට සමගාමීව කිලිනොච්චිය ප්‍රදේශයේ ධාවනය වන බස් රථවල මාර්ග යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ තවත් විශේෂ වැඩසටහනක් ඊයේ (22) වාහන වායු විමෝචන වැඩසටහන විසින් ක්‍රියාත්මක කර තිබේ.
මගී ජනතාවගේ ආරක්ෂාව සහ පරිසර ආරක්ෂණය වෙනුවෙන් ධාවනයට නුසුදුසු බස් රථ හඳුනාගැනීමේ මෙම විශේෂ පරීක්ෂණ සතිපතා අඛණ්ඩව සිදුකිරීමට වාහන වායු විමෝචන වැඩසටහන විසින් සැලසුම් කර ඇත.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ එක්ව ඉදිරියේදී මෙම වැඩසටහන දිවයින පුරා සතිපතා ක්‍රියාත්මක කිරීමට නියමිතය.



















































