
මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගැනීමට පැමිණෙන විට, ඒ සඳහා සුදුසු පරිසර හිතකාමී නැවත භාවිත කළ හැකි බෑගයක් රැගෙනවිත් පරිසරය සුරැකීමට දායක වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
පසුගිය වසරවල පැවැති පොත් ප්‍රදර්ශනවලදී පොත් රැගෙන යාම සඳහා පාරිභෝගිකයන් විශාල වශයෙන් ප්ලාස්ටික් බෑග් (සිලි සිලි මලු) භාවිත කර ඇති බව නිරීක්ෂණය වී තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව නිකුත් කළ අංක 2456/41 දරන 2025 ඔක්තෝබර් මස 01 වැනි දිනැති ගැසට් නිවේදනයට අනුව, අතලු සහිත 'සිලි සිලි මලු' කිසිදු පාරිභෝගිකයෙකුට නොමිලේ ලබා නොදිය යුතුය.
අදාළ බෑග් මුදලට විකුණන්නේ නම්, අය කරන මුදල බිල්පතේ පැහැදිලිව සඳහන් කළ යුතු බවට ද නීතියෙන් නියෝග කර ඇත.
තනි භාවිත පොලිතීන් සහ ප්ලාස්ටික් නිසා පරිසරයට සිදුවන හානිය වැළැක්වීම මෙම නීති මගින් අපේක්ෂා කෙරේ.
මීට අමතරව, පහත සඳහන් තනි භාවිත ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන රට තුළ විකිණීම, නොමිලේ ලබා දීම, ප්‍රදර්ශනය හෝ භාවිතය නීතියෙන් තහනම් කර ඇත.
තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන
තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි
පොලිතීන් අමුද්‍රව්‍ය ලෙස යොදා සකසන ලද ආහාර දවටන (Lunch Sheets)
එබැවින්, පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ පිහිටි ආහාර විකුණුම් ස්ථානවලදී ද මෙම තහනම් ප්ලාස්ටික් හා පොලිතීන් වර්ග කිසිදු අයුරකින් භාවිත නොකිරීමට අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ තිබේ.
2026 සැප්තැම්බර් මස 25 වන දින ආරම්භ වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අතරතුර, වෙළෙඳුන් සහ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය හා එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත.
"නුවණින් කියවමු - නුවණින් රැගෙන යමු" යන තේමාව යටතේ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බව එම අධිකාරිය පවසයි.



















































