
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි මෙම තේ වත්තේ විශාල කොටසක් මෙලෙස නායගොස් ඇති අතර, ඒ සමගම වතුයායට පිවිසෙන ප්‍රධාන මාර්ගය ද සම්පූර්ණයෙන්ම පස් සහ ගල්වලට යටවී වැසී ගොස් ඇත.
ගමනාගමන මාර්ග අවහිරවීම හේතුවෙන් වතුයායට පිවිසීමට වෙනත් විකල්ප මාර්ගයක් නොමැති වීම නිසා එහි පදිංචිකරුවන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.
අනතුරට ලක්වීමේ අවදානම සහිත නිවාසවල පදිංචි පවුල් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුකරන ලෙස වතු පාලනාධිකාරියට උපදෙස් ලබාදුන් බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
තවද, මෙම නායයෑම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.



















































