
බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීම ඇතුළු පියවර රැසක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.
රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ වරදකරුවන් වූ සිරකරුවන්ට වඩා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව බන්ධනාගාර තදබදයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බවය.
විශේෂයෙන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන්ට ඇප ලබා ගැනීමට නොහැකිව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවන බවද එහිදී අනාවරණ වී තිබේ.
ඇතැම් සැකකරුවන් මාස 18 සිට වසර දෙකක් දක්වා කාලයක් රස පරීක්ෂක වාර්තා නොමැතිව රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව නිලධාරීන් පෙන්වා දී ඇත.
සුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ඇබ්බැහි වූ පුද්ගලයන් සෘජුවම බන්ධනාගාරගත කිරීම වෙනුවට වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කිරීම පිළිබඳවද අවධානය යොමු වී තිබේ.
එමෙන්ම රැඳවියන් භෞතිකව අධිකරණ වෙත රැගෙන යාම වෙනුවට දුරස්ථ තාක්ෂණය සහ වීඩියෝ සම්බන්ධතා ඔස්සේ අධිකරණ කටයුතු සඳහා සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කර ඇත.
එමගින් බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟය මෙන්ම රැඳවියන් ප්‍රවාහනය කිරීමේදී ඇතිවන ආරක්ෂක අවදානම්ද අවම කරගත හැකි බව නිලධාරීන් පෙන්වා දී තිබේ.
මීට අමතරව, වසර හතරකට අඩු දඬුවම් ලැබූ සිරකරුවන්, දඩ මුදල් ගෙවාගත නොහැකි සුළු වැරදිකරුවන් සහ වයෝවෘද්ධ හා දීර්ඝකාලීන වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය සිරකරුවන් සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රමවේද යටතේ විකල්ප ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.
වයස අවුරුදු පහට අඩු දරුවන් සමඟ බන්ධනාගාරගතව සිටින මව්වරුන්ගේ නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා විශේෂ අධිකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ යෝජනාවක්ද ඉදිරිපත් වී තිබේ.
බන්ධනාගාර යටිතල පහසුකම් පුළුල් කිරීම, පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, මිල්ලෑව/හොරණ නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීම සහ තදබදය අඩු බන්ධනාගාර වෙත රැඳවියන් මාරු කිරීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වී ඇත.
බන්ධනාගාර තදබදය අවම කිරීම සමඟම සමාජගත වන පුද්ගලයන් නැවත වැරදිවලට යොමුවීම වැළැක්වීම සඳහා ප්‍රජා පාදක විශෝධන සහ පසු විපරම් ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද කාරක සභාව අවධාරණය කර තිබේ.



















































