
පුද්ගලික ආයතනයක් මගින් පහසුගෙවීමේ ක්‍රමයට නිවාස ඉදිකර දෙන බවට පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේවිකාවන් දෙදෙනෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ආයතනය සම්බන්ධයෙන් පැමිණිලි 245ක් ලැබී තිබූ අතර ඒ අනුව සිදු කළ විමර්ශනවලදී 30 සහ 31 වයස්වල පසුවන කහවත්ත හා කඩුවෙල ප්‍රදේශවල පදිංචිකාරියන් දෙදෙනෙකු පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කළේය.
මෙම සැකකාරියන් දෙදෙනා එහි ප්‍රධාන අලෙවි කළමණාකරු ලෙස සහ මෙහෙයුම් නිලධාරී වශයෙන් කටයුතු කළ බව සඳහන්ය.
ඔවුන්ගේ සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණ වූ තොරතුරු මත සැකකාරියන් සතුව තිබූ කාර් රථ 04ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මොවුන් දෙදෙනා ද ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් එම පුද්ගලික ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු පසුගිය ජූලි මස 28 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තවදුරටත් ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ක්‍රියාත්මකය.



















































