
මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ඇතුළු නියෝජිත පිරිස සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (17) පවත්වා තිබේ.
ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවේදී ඒ මහතා ප්‍රකාශ කළේ, මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික දර්ශකවලින් පෙන්නුම් කෙරෙන බවය.
එම ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අපේක්ෂාව බව ද අනුර කුමාර දිසානායක මහතා විසින් අවධාරණය කරන ලදී.
එහිදී ශ්‍රී ලංකාව මේ වන විට උදා කරගෙන ඇති සුවිශේෂී ආර්ථික ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක් විය.
විශේෂයෙන් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට, විදේශ ආයෝජන කැඳවා ගැනීමට සහ මූල්‍ය විනය පවත්වා ගැනීමට පසුගිය කාලසීමාව තුළ අනුගමනය කළ ක්‍රියාමාර්ග ද පැසසුමට ලක් වූ බව සඳහන්ය.
ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැපයූ ශක්තිමත් පදනමද මෙහිදී ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.
මෙලෙස අත් කරගත් ජයග්‍රහණ ආරක්ෂා කරගෙන ඉදිරියට යාම රජයේ අභිප්‍රාය වන බවත් එම සියලු ආර්ථික ජයග්‍රහණ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීමට සහ උසස් කිරීමට යෙදවීම රජයේ අරමුණ බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.



















































